2014 ලෝක කුසලානයේ කිවියන් අසරණ කළ රංගනගේ රංගනය!!!

[vc_row][vc_column][vc_column_text]

දිනය 2014 වර්ෂයේ මාර්තු මස 31 වනදාය. 2014 ලෝක කුසලාන තරඟාවලියේ අතිශයින්ම වැදගත් සහ තීරණාත්මක තරඟයක් බංග්ලාදේශයේ චිතගොන් නුවර සියාවුර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. අංක 1 කාණ්ඩයේ තරඟයක් වූ මෙම තරඟයට නවසීලන්තය සහ ශ්‍රී ලංකාව තරඟ වැදීමට සූදානමින් සිටියහ. මීට ප්‍රථම කාණ්ඩ වටයේ තරඟ වලදී එංගලන්තය සහ නෙදර්ලන්තය පරාජයට පත් කළ නවසීලන්තය දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත් විය. ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය පරාජයට පත් කළත් අනපේක්ෂිත ලෙසින් එංගලන්තය හමුවේ පරාජයට පත් වී සිටියේය. මේ හේතුවෙන් මෙම තරඟය දෙපිළේම ලෝක කුසලාන ඉරණම තීරණය කරන තරඟය බවට පත් වී තිබුණි.

තරඟය ජයග්‍රහණය කරන්නන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබද්දී තරඟය පරාජයට පත් වන කණ්ඩායමට නැවතත් තම මවුරට බලා යාමට අනිවාර්යයෙන්ම සිදුවන බව තරඟය ආරම්භ වීමට පෙරාතුව දෙපිළම දැනගෙන සිටියේය. මෙය කාණ්ඩ වටයේ තරඟයක වඩා පිළිමළුන් පිටු දැකීමේ වටයේ තරඟයක් ලෙසින් පැවැත්වුනා කිවහොත් වඩා නිවැරදිය. කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් ගේ ආරාධනයෙන් පන්දුවට පහර දීමට මුළින්ම ශ්‍රී ලංකාව පිටියට පිවිසියේය.

බලාපොරොත්තු වූ ආරම්භය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වූ අතරම Powerplay අවස්ථාව අවසන් වද්දී ශ්‍රී ලංකාව කඩුලු 3ක් බිඳ වැටී රැස් කළේ ලකුණු 35ක් පමණි. කුසල් පෙරේරා, තිලකරත්න ඩිල්ශාන් සහ කුමාර් සංගක්කාර යන අතිශය වැදගත් කඩුලු 3 මෙලෙස දැවී ගිය කඩුලු විය. මහේල ජයවර්ධන විසින් ලකුණු 25ක් රැස් කළ අතර එය ශ්‍රී ලංකා ඉනිමේ පිතිකරුවෙක් රැස් කළ ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. ලහිරු තිරිමාන්න ලකුණු 20ක් රැස් කළ අතර වෙනත් කිසිඳු පිතිකරුවෙක් හට ලකුණු 20 සීමාවට ළඟා වීමට නොහැකි වූවත් ඉනිමේ අවසන් භාගයේදී පන්දු 11 කදී හතරේ පහරක් සහ හයේ පහරක් සමගින් ලකුණු 17ක් රැස් කරගත් සචිත්‍ර සේනානායක විසින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 119ක් දක්වා ඔසවා තබන ලදී. පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට් සහ ජිමී නීශම් කඩුලු 3 බැගින් බිඳ හෙලුවේය.

ලකුණු 120ක් යනු විස්සයි විස්ස පිටියේදී අතිශය පහසු ඉලක්කයකි. නවසීලන්තය පන්දුවාර 3ක් අවසන් වද්දී කිසිවෙකුත් නොදැවී ලකුණු 18ක් ලබාගෙන පිටියේ ස්ථාවර වීම ආරම්භ කරගෙන සිටියේය. සියල්ල වෙනස් වූයේ තරඟයේ 4 වෙනි පන්දුවාරයෙනි. එම පන්දුවාරය යොමු කිරීමට පැමිණි වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් යැවූ පළමු පන්දුවෙන්ම මාටින් ගප්ටිල් දුවද්දී දැවී ගියේය. අනතුරුව එම පන්දුවාරයේ ඔහු යොමුකළ අවසන් පන්දුවේදී නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් ස්ටම්ප් කිරීමක් මගින් දැවී ගියේ තරඟයේ බලාපොරොත්තු නැවතත් ශ්‍රී ලංකාව දෙසට හරවමිනි. අනතුරුව තරඟයේ 6 වන පන්දුවාරය ක්‍රියාත්මක කළ රංගන හේරත් විසින් රොස් ටේලර් ව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත් අතරම ජිමී නීශම් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ඔහුව දවා ගත්තේ කෙලින්ම පන්දුව කඩුල්ලේ දවටමිනි. නවසීලන්ත ලකුණු පුවරුව Powerplay අවසන් වද්දී කඩුලු 4ක් දැවී ලකුණු 23ක් ලෙසින් සටහන් විය.

අනතුරුව රංගන ක්‍රියාත්මක කළ ඔහුගේ තුන්වෙනි සහ නවසීලන්ත ඉනිමේ 8 වන පන්දුවාරයේදී ලුක් රොන්චි වත් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරග ගැනීමට සමත් වූයේය. ඒ අනුව පළමු කඩුල්ලට මාටින් ගප්ටිල්ව දුවද්දී දවා ගැනීමට කුමාර් සංගක්කාර හට සහය වූ හේරත් මීළඟ නවසීලන්ත කඩුලු 4 ම තමන් සතුකර ගත්තේ නවසීලන්ත ඉනිමේ පළමු කඩුලු 5 ම දවා ගැනීමට තම දායකත්වය ලබා දෙමිනි. රංගන හේරත් විසින් එක් අන්තයකින් ඉන්ද්‍රජාලික පන්දු යැවීමක් කරද්දී අනෙක් අන්තයෙන් සචිත්‍ර සේනානායක විසින්ද සුවිශේෂී සහායක් ලබා දුන්නේය. නවසීලන්ත වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වූ කේන් විලියම්සන් ලකුණු 42ක් රැස් කළ අතර ඔහුව අවසානයේදී දුවද්දී දැවී යද්දී එම දැවී යාමටද ඇන්ජලෝ මැතිව්ස් සමගින් එක්ව කටයුතු කළේ රංගන හේරත් ය.

නවසීලන්ත ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් ට්‍රෙන්ට් බෝල්ට් මහේල අතට උඩපන්දුවක් ලබා දීමෙන් දැවී ගිය අතර එම කඩුල්ලේ හිමිකාරිත්වයද රංගන හේරත් ට හිමි විය. නවසීලන්ත ඉනිමේ ආබාධයකට ලක් වූ කොරේ ඇන්ඩර්සන් පන්දුවට පහර දීමට නොපැමිණි අතර ඔවුන්ගේ දැවී ගිය කඩුලු 9න් 5ක් හේරත් දවා ගත් ඒවා විය. එතකින් නොනැවතුන ඔහු දුවද්දී දැවී යාම් දෙකකටද සහාය වූයේ සමස්ථ දැවී ගිය කඩුලු 9න් 7 කටම තම දායකත්වය සපයමිනි. නවසීලන්ත ඉනිමේ විලියම්සන් ගේ ලකුණු 42 ට අමතරව මාටින් ගප්ටිල් ලකුණු 5ක් රැස් කළ අතර වෙනත් කිසිඳු පිතිකරුවෙක් ලකුණු 5 සීමාවට ළඟා වූයේ නැත. පිටියට පිවිසි පිතිකරු 8ක් ම ලකුණු 5 සීමාවට මෙපිටින් නවතා දැමීමට හේරත් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි විය.

නවසීලන්ත ඉනිම ලකුණු 60 කට සීමා වද්දී ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. සුපිරි පන්දු යැවීමක් වාර්තා කළ රංගන හේරත් විසින් පන්දුවාර 3.3 කදී නිලකුණු පන්දුවාර 2ක් ද සමගින් ලකුණු 3ක් පමණක් ලබා දෙමින් කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් වූ අතරම එය ලෝක කුසලාන ඉතිහාසයේ දෙවැනි වූයේ ශ්‍රී ලාංකිකයෙක්ම වූ අජන්ත මෙන්ඩිස් යොමු කළ ලකුණු 8 කට කඩුලු 6ක් බිඳ හෙලීමේ වාර්තාවට පමණි. රංගනගේ මෙම රංගනය නිසාවෙන්ම ශ්‍රී ලංකාව 2014 විස්සයි විස්ස ලෝක ශූරයන් වීම දක්වාම ගමන් කළ අතර මෙම පන්දු යැවීම විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත් සොඳුරුතම ශ්‍රී ලංකා මතකයක් ලෙසින් සටහන් වී ඇත.

තරඟ සාරාංශය

ශ්‍රී ලංකාව 119-10 (19.2)
මහේල ජයවර්ධන 25(32), ළහිරු තිරිමාන්න 20(18), සචිත්‍ර සේනානායක 17(11)
ට්‍රෙන්ට් බෝල්ට් 20/3, ජිමී නීශම් 22/3

නවසීලන්තය 60-10 (15.3)
කේන් විලියම්සන් 42(43), මාටින් ගප්ටිල් 5(9)
රංගන හේරත් 3/5, සචිත්‍ර සේනානායක 3/2

තරඟයේ වීරයා – රංගන හේරත් 

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top