දකුණු අප්‍රිකානු සුදු ක්‍රීඩකයන් ක්‍රිකට් හැර යති !!

[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාව යනු කලක් වර්ණභේදවාදය නිසාවෙන් පීඩා විඳි රටකි. ඔවුන්ගේ වර්ණභේදවාදී සහ ජාතිවාදී කටයුතු නිසාවෙන්ම දකුණු අප්‍රිකානුවන්ව ලෝකයෙන්ම කොන්කර තැබීමට කලක් කටයුතු කර තිබුණි. ක්‍රිකට් ක්‍රීඩාවෙන්ද ඔවුන්ව දශක දෙකක පමණ කාලයක් ඉවත් කර තිබුණේ මෙකී වර්ණභේදවාදී ගැටලු නිසාවෙනි.

කෙසේ වෙතත් එම ගැටලු අවසන් වීමෙන් අනතුරුව දකුණු අප්‍රිකාව තුළ කලු ජාතික ජනාධිපතිවරයෙක් ලෙසින් නෙල්සන් මැන්ඩෙලා පත් වූ අතරම ක්‍රීඩාවෙන්ද ඔවුන් ඉදිරියට පැමිණෙන ආකාරය දක්නට ලැබුණි. විශේෂයෙන්ම කණ්ඩායම් ක්‍රීඩා වලදී ක්‍රිකට් රග්බි මෙන්ම පාපන්දු යන ක්‍රීඩා වලින්ද දකුණු අප්‍රිකානුවන් ලොව නම රැන්දවීමට සමත් විය.

1995, 2007 සහ 2019 වසරවල් වලදී ලෝක රග්බි ශූරයන් ලෙසින් කිරුළු දැරීමටද ඔවුන්ට හැකි විය. ඒ වගේම පළමු වතාවට 2010 වසරේදී අප්‍රිකා කලාපයට පාපන්දු ලෝක කුසලානයක සත්කාරකත්වය ගෙනා දකුණු අප්‍රිකාව ලෝක පාපන්දු ශූරතාවයද තමන්ගේ නිජබිමේ පැවැත්වූයේ ක්‍රීඩාව තුළ දකුණු අප්‍රිකානු නාමය ඓතිහාසික ලෙසින් සනිටුහන් කරමිනි. නමුත් වර්තමානයේදී දකුණු අප්‍රිකාවට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතරින් සුදු ක්‍රීඩකයන් ක්‍රීඩාවන් හැර යන ආකාරය දක්නට ලැබේ.

මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ දකුණු අප්‍රිකානු ක්‍රීඩාව තුළ ක්‍රියාත්මක වන කෝටා ක්‍රමයයි. එකී කෝටා ක්‍රමයට අනුව ඕනෑම කණ්ඩායම් ක්‍රීඩාවකදී දකුණු අප්‍රිකාව නියෝජනය කරන ක්‍රීඩකයන්ගෙන් භාගයක් කලු ජාතිකයන් වීම අනිවාර්ය කෙරුණි. නමුත් පසුව මතුව ආ විරෝධතාවයන් නිසාවෙන්ම ඕනෑම ක්‍රීඩකයන් 6 දෙනෙක්ට ක්‍රීඩකයන් 2ක් කලු ජාතිකයන් වීම ලෙසින් එකී කෝටාව වෙනස් කෙරුණි.

මේ හේතුව නිසාවෙන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් වෙනත් රටවල ක්‍රීඩා කරන්නට යෑමේ ප්‍රවණතාවයක් හටගෙන තිබේ. එහි මූලික වෙඩිමුරය පත්තු වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව තුළිනි. ඔවුන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කරන 11 න් 3.5ක් කලු ජාතිකයන් වීම අනිවාර්ය වී ඇත. ඒ අනුව අවම වශයෙම් ක්‍රීඩකයන් 4ක් වත් කලු ජාතිකයන් විය යුතුය.

මේ හේතුව නිසාවෙන් දකුණු අප්‍රිකානු සුදු ජාතිකයන් ජාතිවාදයට ගොදුරු වී ඇති බවටද ඇතැම් පාර්ශව විසින් චෝදනා එල්ල කරති. මේ කෝටා ක්‍රමය නිසාවෙන්ම මෑත කාලීනව ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයන් ගණනාවක් දකුණු අප්‍රිකාව හැර ගිය බව නොරහසකි. එංගලන්ත ප්‍රාන්ත සහ ලොව පුරා ලීග් ක්‍රිකට් තරඟ ක්‍රීඩා කරමින් සිටිනා Rille Russow සහ Kyle Abbot යන ක්‍රීඩකයන් දෙපළ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාවට සමු දීමට ප්‍රධාන හේතුව වූයේ මෙකී කෝටා ක්‍රමය යටතේ අසාධාරණයට ලක් වීම බව විදෙස් මාධ්‍ය පෙන්නුම් කර දී සිටී.

ඒ වගේම වර්තමානයේදී නවසිලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන පිතිකරු Devon Conway ද දකුණු අප්‍රිකාව වෙනුවෙන් අවස්ථාව නොලැබීම නිසාවෙන් නවසීලන්තය වෙතට සංක්‍රමණය වූ සුදු ජාතිකයෙක් බව විදෙස් මාධ්‍ය පෙන්නුම් කරදී සිටිති. මේ වන විට දකුණු අප්‍රිකානු ක්‍රිකට් යම්කිසි බිඳ වැටීමකට ලක් වී තිබෙන අතර එයට එක් හේතුවක් ලෙසින් මෙම කෝටා ක්‍රමය ඔස්සේ සැබෑ දක්ෂයන් වැසී යාම බවට බොහෝ පාර්ශව විසින් දකුණු අප්‍රිකාවට චෝදනා එල්ල කර සිටිති.

Creeda Sport Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top