නැමිබියා ශ්‍රී ලංකා තරඟය අද

[vc_row][vc_column][vc_column_text]

7 වන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරඟය අද දිනයේදී අබුඩාබි හීදී ආරම්භ වීමට නියමිත වනවා. ඒ තරඟාවලියේ ප්‍රධාන තරඟ වටයට සුදුසුකම් ලැබීමේ තරඟයක් ලෙසිනුයි. ශ්‍රී ලංකාවේ මුල්ම ප්‍රතිවාදීන් වන්නේ නැමිබියා කණ්ඩායමයි. මේ වන විට විස්සයි විස්ස පිටියේ ශ්‍රේණිගත කිරීම් අතරේ ශ්‍රී ලංකාව 10 වන ස්ථානයේත් නැමිබියාව 19 වන ස්ථානයේත් පසුවනවා. අද තරඟය ශ්‍රී ලංකාවට කාරණා කිහිපයක් නිසාම වැදගත් වනවා ඇති,

ඉන් පළමු කාරණය වන්නේ ලෝක කුසලාන ප්‍රධාන වටය සඳහා පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ වට වලදී ශ්‍රී ලංකාවට හමුවන පහසුම ප්‍රතිවාදියා නැමිබියාව වීමයි. අත්දැකීම් අතින්ද අඩු අත්දැකීම් සහිත පහළ ශ්‍රේණිගත කිරීමක රැඳී සිටින කණ්ඩායම වන්නේ ඔවුනුයි. මෙය නැමිබියාව ක්‍රීඩා කරන මංගල විස්සයි විස්ස ලෝක කුසලානයද වනවා. මීට ප්‍රථමව අවසන් වතාවට ඔවුන් 2003 ක්‍රිකට් ලෝක කුසලානය ක්‍රීඩා කළත් එහි මූලික වටයෙන්ම ඉවත් වීමට නැමිබියාවට සිදු වුනා.

ශ්‍රී ලංකාවට ලෝක කුසලාන ප්‍රධාන වටය සඳහා පහසුවෙන් සුදුසුකම් ලබා ගැනීමට නම් අවම වශයෙන් තරඟ 3න් 2ක් වත් ජයග්‍රහණය කළ යුතු වනවා. ශ්‍රී ලංකාවට සිටිනා මීළඟ ප්‍රතිවාදීන් වන්නේ අයර්ලන්තය සහ නෙදර්ලන්තයයි. ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියෙන් මෙන්ම යම්කිසි අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගෙන් සමන්විත අයර්ලන්තය හෝ නෙදර්ලන්තයට වඩා පහසුවෙන් ශ්‍රී ලංකාවට නැමිබියාව පරාජය කළ හැකි බව පෙනෙන කරුණකි. මේ නිසාවෙන්ම ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම ජයග්‍රාහී ආරම්භක් සොයා ගත යුතුමය.

ඊයේ දිනයේදී ස්කොට්ලන්තය විසින් බංග්ලාදේශය පරාජයට පත් කරමින් තරඟාවලියේ පළමු පෙරළිය සිදු කිරීමට සමත් වුනා. වර්තමානයේදී පවතින කෙටි ක්‍රිකට් ක්‍රීඩා තරඟ වලදී දිනයේ වාසිය තමන් සතුකරගන්නා කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කරන බවට ස්කොට්ලන්තය ඊයේ දිනයේදී සාක්ෂි සහිතව පෙන්නුම් කළා. මේ නිසාවෙන්ම ශ්‍රී ලංකාව තමන් සතු සියලුම තුරුම්පු වාසිය අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි. ඕමානය හමුවේ ලබාගත් ජයග්‍රහණයන් නිසාවෙන් මේ වන විට ශ්‍රී ලංකාව ජයග්‍රාහී මානසිකත්වයකින් පසු වනවා. වැදගත් වන්නේ මෙය තවදුරටත් ඉදිරියට ගෙන යාමයි.

අනෙක් කාරණාව වන්නේ මේ වන විට තම රිද්මයට අවතීර්ණ වී සිටින ක්‍රීඩකයන් එය පවත්වාගෙන යාමත් තවදුරටත් කණ්ඩායමට අවශ්‍යම ක්‍රීඩකයන් තම සුපුරුදු රිද්මයට ඉක්මනින්ම පැමිණීමත් ය. අංක 4 ස්ථානයේ අවිශ්ක ප්‍රනාන්දු සාර්ථක ලෙසින් ක්‍රීඩා කරන නිසා ඔහුගේ පිතිකරණයේ වාසිය තවදුරටත් ලබා ගැනීමට නම් කුසල් පෙරේරා නැවත වතාවක් සුපුරුදු ක්‍රීඩා රටාවට අවතීර්ණ විය යුතු වනවා. ඒ වගේම භානුක රාජපක්ෂ විසිනුත් තමන්ගේ කාර්යභාරය ඉටු කළ යුතුයි. චරිත් අසලංක මෙන්ම දසුන් ශානකද පිත්තෙන් තමන්ගේ වගකීම හඳුනාගත යුතු වනවා.

වනිඳු හසරංග මෙන්ම චාමික කරුණාරත්න ගේ තුන් ඉරියව් දක්ෂතා ශ්‍රී ලංකාවට ඉතමත් වැදගත් වනවා ඇති. ඉහත ක්‍රීඩකයන් සමගින් වේග පන්දු යවන්නන් සහ ක්‍රීඩා කරන දඟ පන්දු යවනන්න් විසින් දක්වන දක්ශතා ශ්‍රී ලංකා ඉදිරි ගමන තීරණය කිරීමට නියමිත වනවා. අබුඩාබි තණතීරුව පසුගිය IPL තරඟාවලියේ විටෙක මන්දගාමී ලෙස කටයුතු කළ අතරම කලාතුරෙකින් පිතිකරු පාරාදීසයක් බවට පත්වන ආකාරය දක්නට ලැබුණා. මේ හේතුවෙන් තණතීරුවේ ස්භාවය මත තරඟය සැලසුම් කිරීම වඩා වාසි සහගත වනු ඇති බවට විශ්වාස කළ හැකියි.

නැමීබියාව දෙස අවධානය යොමු කරද්දී වඩාත්ම සැලකිලිමත් විය යුතු ක්‍රීඩකයා වන්නේ නැමිබියා නායකයා වන ගර්හාඩ් එරාස්මස් කෙරෙහිය. ඔහු වේගවත් පිතිකරුවෙක් ලෙසින් නම් දරා සිටින ක්‍රීඩකයෙකි. වර්තමානයේදී විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි 64 වන ස්ථානයේ ඔහු රැඳී සිටිනවා. ඒ වගේම කලක් දකුණු අප්‍රිකාව නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩක ඩේවිඩ් වීසා කෙරෙහිද ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු වනවා. ජේ.ජේ. ස්මිට් මෙන්ම බර්නාඩ් ශෝල්ට්ස් යන ක්‍රීඩකයින් නැමීබියාවේ ප්‍රධාන තුරුම්පු ලෙසින් නම් කළ හැකියි.

කෙසේ වෙතත් අත්දැකීම් මෙන්ම ක්‍රිකට් පිටියේ වර්තමානයේදී දැක්වූ දක්ෂතා මත තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසු වනවා. මෙම තරඟය ජයග්‍රහණය කිරීමේදී මීළඟ වටය දක්වා ගමන් කිරීමට අවශ්‍ය දළ ලකුණු ලබා ගැනීමේ වේගය වාසිසහගත ලෙසින් පවත්වා ගැනීමටද ශ්‍රී ලංකාවේ අවධානය යොමු විය යුතු බවට අප විශ්වාස කර සිටිනවා. එවිට මීළඟ වටය සඳහා එක්වීමට ශ්‍රී ලංකාව පළමු තරඟයෙන්ම විශාල ඉදිරි පියවරක් තැබූ අවස්ථාවක් ලෙසින් එය සටහන් කිරීමට හැකිවනු ඇත.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top