ශ්‍රී ලංකා පිල අද ඕමානය සමග තරග බිමේ

[vc_row][vc_column][vc_column_text]

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වීමට නියමිත දෙවන විස්සයි විස්ස තරඟය අද දිනයේදී ඕමානයේ අල් අමරාට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබේ. මෙම තරඟයට පෙරාතුව කාරණා කිහිපයක්ම ශ්‍රී ලංකාවට වැදගත් බව හඳුනා ගත හැකිය.

ඉන් පළමු කාරණාව වන්නේ ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර මුහුණ දෙන අවසන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟය මෙය බැවිනි. පැපුවා නිව් ගිනියාව සහ බංග්ලාදේශය සමගින් ලෝක කුසලානයට පෙර පුහුණු තරඟ දෙකක් ශ්‍රී ලංකාවට හිමි වුවත් මෙම ඕමාන තරඟය නිළ වශයෙන් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට පෙරාතුව මුහුණ දෙන අවසන් විස්සයි විස්ස තරඟයයි. මේ හේතුවෙන් මෙම තරඟය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාව දෙසින් ධනාත්මක කරුණු කිහිපයකටම මංපෙත් විවර කරනු ඇති.

ඉන් වඩාත් වැදගත්ම කාරණය වන්නේ තරඟාවලි ජයග්‍රහණය සහ ජයග්‍රාහී මානසිකත්වය ඇති කරගැනීමයි. අනෙක් කාරණය වන්නේ ලෝක කුසලානයට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් තමන්ගේ රිද්මය සොයා ගැනීමයි. පසුගිය තරඟයේදී අවිශ්ක ප්‍රනාන්දු මෙන්ම නායක දසුන් ශානකද තමන්ගේ රිද්මයට අවතිරණ වන බවට ඉඟි පළ කළේය. ඔවුන් දෙදෙනා විස්සයි විස්ස පිටියේ යම්කිසි අසාර්ථක කාල සමයක් පසු කරන නිසාවෙන්ම මෙය ශ්‍රී ලංකාව දෙසින් ධන ලකුණකි. මෙම රිද්මය දිගින් දිගටම පවත්වා ගැනීම ශ්‍රී ලංකා ලෝක කුසලාන ගමනට මනා පිටුවහලක් වනු නොඅනුමානය.

මීළඟට මතු කළ හැකි වැදගත්ම කාරණය වන්නේ ශ්‍රී ලංකාව මුල් පන්දුවාර 6 එනම් Powerplay අවස්ථාවේදී පන්දුවට පහර දෙන අන්දමයි. මෑත කාලීනව ශ්‍රී ලංකාව Powerplay අවස්ථාව හොඳින් ප්‍රයෝජනයට ගත්තාද යන සැකය තරඟ නිරීක්ෂණයේදී ගොඩනැගෙන කරුණකි. ශ්‍රී ලංකාව පසුගිය ඉන්දීය තරඟාවලියේ සිට Powerplay අවස්ථාව තුළ ක්‍රීඩා කර ඇත්තේ මේ ආකාරයටය,

46-1 ඉන්දියාවට එරෙහි පළමු තරඟය
36-1 ඉන්දියාවට එරෙහි දෙවන තරඟය
23-1 ඉන්දියාවට එරෙහි තුන්වන තරඟය
34-1 දකුණු අප්‍රිකාවට එරෙහි පළමු තරඟය
52-2 දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන තරඟය
47-3 දකුණු අප්‍රිකාවට එරෙහි තුන්වන තරඟය
24-3 ඕමානයට එරෙහි පළමු තරඟය

ඒ අනුව ශ්‍රී ලංකාව අවසානයට ක්‍රීඩා කළ විස්සයි විස්ස තරඟ 7 දී Powerplay අවස්ථාවේදී රැස් කළ ලකුණු සාමාන්‍ය සටහන් වන්නේ 37.28 ක් ලෙසටය. එය පන්දුවාරයකට යන්තමින් 6 ඉක්මවූ දළ ලකුණු වේගයක තත්ත්වයකි. ඒ වගේම කඩුලු 1.71 ක සාමාන්‍යක් පෙන්නුම් කරයි. ආසන්නව වැටයූ විට ශ්‍රී ලංකාවේ අවසන් තරඟ 7 දී Powerplay අවස්ථාවේ සාමාන්‍ය 37-2 ක් ලෙසින් දැක්වීමට හැකිය. මෙය වර්තමානයේ ක්‍රිකට් හා සන්සන්දනය කිරීමේදී ධනාත්මක ලකුණක් ලෙසින් ගත නොහැක්කේ බොහෝ කණ්ඩායම් Powerplay අවස්ථාව තුළදී හොඳ අඩිතාලමක් සකසා ගන්නා නිසාවෙනි.

ඕමානය සමග පැවති පළමු තරඟයේදී ශ්‍රී ලංකාව Powerplay අවස්ථාවේදී ලකුණු 24ක් පමණක් රැස් කරද්දී කඩුලු 3ක් බිඳ වැටුණි. එය ඉහත සාමාන්‍ය දෙස බැලීමේදී ලකුණු මෙන්ම කඩුලු සාමාන්‍ය යන අගයන් දෙකටම වඩා පහළ අගයක් ගනී. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉදිරිපෙළ පිතිකරුවන් දැනට වඩා ඵලදායී ලෙසින් Powerplay අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමේ අවසන් අවස්ථාව ලෙසට අද තරඟය හඳුන්වා දිය හැකිය.

අවසාන වශයෙන් තරඟය අද දිනයේත් පෙර ක්‍රීඩාංගනයේම පැවැත්වෙන අතර මෙම ක්‍රීඩාංගනයේ වර්තමාන වාර්තා අනුව වේග පන්දු යවන්නන් සහ මද වේග පන්දු යවන්නන් වැඩි වාසි හිමිකරගෙන තිබේ. පසුගිය තරඟයේදී එම වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවටද හැකි විය. මේ හේතුව නිසාවෙන් අද තරඟයේදීද වේග පන්දු යවන්නන් හට වැඩි බරක් පැටවෙනු ඇත. එමෙන්ම ඉදිරිපෙළ පිතිකරුවන් පළමු තරඟයේ සිදු වූ අඩුපාඩු නිවැරදි කරගනිමින් ක්‍රීඩා කළ යුතුමය. තරඟාවලිය 2-0 ක් ලෙසින් ජයග්‍රහණය කරමින් ජයග්‍රාහී මානසිකත්වයෙන් යුතුව විස්සයි විස්ස ලෝක කුසලානයට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇති බවට මුළු මහත් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ප්‍රජාවම බලා සිටින මොහොතක් ලෙසින් මෙය නම් කිරීමද වරදක් නොවේ.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top