ඕමාන ශ්‍රී ලංකා පළමු විස්සයි විස්ස තරඟය අද

[vc_row][vc_column][vc_column_text]7 වන විස්සයි විස්ස ලෝක කුසලානය තව නොබෝ දිනකින් ඩුබායි කේන්ද්‍ර කොටගෙන ආරම්භ වීමට නියමිතය. මෙම තරඟාවලියට පෙරාතුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕමාන තරඟ සංචාරයකට එක් වන අතර තරඟ දෙකකින් සමන්විත තරඟාවලියේ පළමු විස්සයි විස්ස තරඟය අල් අමරාට් හි ඕමාන ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද (7) පස්වරු 3.30 ට පමණ ආරම්භ වීමට නියමිත වේ.

මෙම තරඟයට පෙර අවධානය යොමු කළ යුතු විශේෂ කාරණා කිහිපයකි,ශ්‍රී ලංකාව මේ වන විට විස්සයි විස්ස පිටියේදී කිසියම් පසුබෑමකට ලක්ව ඇති බව පෙනී යයි. ශ්‍රී ලංකාව අවසානයට සහභාගී වූ විස්සයි විස්ස තරඟාවලි 4 සටහන් වූයේ,

බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමග 2-1 පරාජයක්
එංගලන්තය සමග 3-0 ක පරාජයක්
ඉන්දියාව සමග 2-1 ජයග්‍රහණයක්
දකුණු අප්‍රිකාව සමග 3-0 පරාජයක්

ලෙසටය. ශ්‍රී ලංකාව අවසානයට ක්‍රීඩා කළ විස්සයි විස්ස තරඟ 12න් තරඟ 3ක් ජයග්‍රහණය කොට ඇති අතර 9ක් ම පරාජයට පත් වී තිබේ. එහි ජයග්‍රාහී ප්‍රතිශතය 25% ක වැනි අවම අගයක පවතී. මේ නිසාවෙන්ම ශ්‍රී ලංකාවට මෙම ඕමාන තරඟාවලිය ලෝක කුසලානයට පෙර ලැබෙන අවසන් අවස්ථාව ලෙසින් නම් කළ හැක. මේ නිසාවෙන් මෙම තරඟාවලිය ජයග්‍රහණය කිරීමෙන් විස්සයි විස්ස ලෝක කුසලානයට ජයග්‍රාහී මානසිකත්වයකින් පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හට හැකි වනු ඇත.

අනෙක් පසින් ඕමානය ගත් කළ ක්‍රිකට් පිටියට නවක කණ්ඩායමකි. ඔවුන් තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් බහුල කණ්ඩායමක් නොවුනත් කෙටි කාලයක් තුළ ක්‍රිකට් පිටියේ සැලකිය යුතු වර්ධනයක් ලබාගත් කණ්ඩායමක් ලෙසින් පෙනී යයි. මීට ප්‍රථම 2016 විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටද ක්‍රීඩා කළ ඔවුන් එහිදී අයර්ලන්තය පරාජයට පත් කිරීමටද සමත් විය. 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ වට සඳහා සුදුසුකම් ලැබීම සඳහා ක්‍රීඩා කළ තරඟාවලිය ඕමානය අවසන් කළේ 6 වෙනියා ලෙසටය. එහිදී සුදුසුකම් ලැබීමේ වට සඳහා එක් වන අවසන් කණ්ඩායම ලෙසින් ඔවුන් 2021 ලෝක කුසලානයට එක් වේ. ඒ වගේම අනෙත් වැදගත් කාරණාව වන්නේ ඕමාන ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුලිප් මෙන්ඩිස් කටයුතු කිරීමයි.

කණ්ඩායම් ද්විත්වය සන්සන්දනය කිරීමේදී වර්තමාන විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකාව 10 වන ස්ථානයේ රැඳී සිටින අතර ඕමානයට හිමි වන්නේ 18 වන ස්ථානයයි. ඕමානය මෙම වසර තුළදී ක්‍රීඩා කරන පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය වන්නේද මෙයයි. අත්දැකීම් ගත් කළ ශ්‍රී ලංකා කණ්ඩායම නවක ක්‍රීඩකයන් ගොන්නකින් සැදුම් ලත් කණ්ඩායමකි. නමුත් ඕමානය දෙස අවධානය යොමු කරද්දී ඔවුන්ට ප්‍රධාන පෙළේ ක්‍රිකට් කණ්ඩායම් සමගින් ක්‍රීඩා කිරීමේ අත්දැකීම් ඇත්තේම නැති තරම් ය. මේ නිසාවෙන්ම නවක ක්‍රීඩකයන් සමගින් ක්‍රීඩා කළත් ශ්‍රී ලංකාව අත්දැකීම් අතින් ඕමානයට වඩා පියවරක් ඉදිරියෙන් සිටී.

ශ්‍රී ලංකාව අද තරඟයට එක් වන්නේ තමන් සතු ප්‍රධානතම බර අවි දෙකක් නොමැතිවය. ඒ පන්දු යැවීමේ අංශයෙන් කණ්ඩායමේ ප්‍රධානතම සාධක ද්විත්වය වන වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ වර්තමානයේදී විස්සයි විස්ස පිටියේ අංක 2 පන්දු යවන්නා ලෙසින් වැජඹෙන පා දඟ පන්දු යවන වනිඳු හසරංග යන ක්‍රීඩකයන් නොමැතිවය. කුසල් පෙරේරා ගේ ආබාධ තත්ත්වය මේ වන විට සැලකිය යුතු මට්ටමකින් පහව ගොස් ඇති නිසාවෙන්ම බොහෝ විට හෙට දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙසින් ක්‍රීඩා කිරීමට නියමිත වේ. අත්දැකීම් සහිත දඟ පන්දු යවන්නා වන අකිල ධනංජය අද දිනයේදී බොහෝ දුරට ශ්‍රී ලංකා ප්‍රධාන දඟ පන්දු යවන්නා භූමිකාවට පණ පොවනු ඇත.

අවසානයට මෙම ක්‍රීඩාංගනයේදී පැවති තරඟ දෙස අවධානය යොමු කරද්දී එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ තරඟ වලට ඕමානය අල් අමරාට් හීදී එක් විය. තරඟ 8 කට එක් වූ ඕමානය එහිදී තරඟ 6ක් ජයග්‍රහණය කළ අතරම එක් තරඟයක් පරාජය වී තවත් තරඟයක් විසඳුමකින් තොරව නිමා විය. මේ නිසාවෙන්ම වර්තමානයේදී මෙම ක්‍රීඩාංගනය තුළ ඕමානය සැලකිය යුතු තරම් හොඳ ප්‍රතිවාදියෙකි. ඕමානය දෙසින් අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයා වන්නේ ජටින්දර් සිං ය. ඔහු ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙක් වන අතර පසුගිය සැප්තැම්බර් මස නේපාලය සමගින් පැවති එක්දින තරඟයකදී පන්දු 62 කින් වේගවත් ලකුණු 107ක් ඔහු රැස් කළේය. ඔහු වර්තමාන ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි 45 වන ස්ථානයේ රැඳී සිටින අතරම ශ්‍රී ලංකා පිතිකරුවෙක් ලෙසින් ඔහුට ඉදිරියෙන් සිටින්නේ 37 වන ස්ථානයේ පසුවන කුසල් පෙරේරා පමණි. මේ නිසාවෙන්ම ජටින්දර් සිං කෙරෙහි ශ්‍රී ලංකාව විශේෂ අවධානය යොමු කළ යුතුය.

පන්දු යැවීමේ අංශයෙන් දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක බිලාල් කාන් වර්තමාන විස්සයි විස්ස පන්දු යවන්නන් අතර 29 වන ස්ථානයේ රැඳී සිටී. විස්සයි විස්ස තරඟ 34 කදී කඩුලු 51ක් බිඳ හෙළ තිබෙන ඔහු හෙට දිනයේදී ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම පන්දු යවන්නන්ට වඩා කඩුලු දවාගෙන තිබේ. සරලවම කිවහොත් කණ්ඩායම් ද්විත්වයේම වැඩිම කඩුලු ලාභියා වන්නේ ඔහුය. මේ නිසාවෙන්ම බිලාල් කාන් කෙරෙහිද ශ්‍රී ලංකාව තම අවධානය යොමු කළ යුතුමය. කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයන් තවමත් ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩා කරන කණ්ඩායම් සමගින් වැඩි වශයෙන් ක්‍රීඩා කොට නොමැති නිසා ශ්‍රී ලංකාව එහි වාසිය ගැනීමට උත්සාහ කළ යුතුමය.

අවසන් වශයෙන් අද තරඟය පැවැත්වෙන අල් අමරාට් ඕමාන ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේ තණතීරුව විවිධ ආකාරයෙන් හැසිරී ඇති බව අවසානයට පැවති එක්දින තරඟ නිරීක්ෂණය කිරීමේදී පෙනී යයි. සමහර තරඟ වලදී තණතීරුව අතිශයින්ම මන්දගාමී ස්වරූපයකින් හැසිරී තිබේ. පන්දු යවන්නන් අතරින් බොහෝවිට මදවේග පන්දු යවන්නන් කඩුලු දවාගැනීමට සමත් වී ඇති අතරම දඟ පන්දු යවන්නන් ද තමන්ගේ වාසිය උකහා ගැනීමට සමත් වී ඇති තණතීරුවකි. චාමික කරුණාරත්න සහ දසුන් ශානක යන දෙදෙනාගේම පන්දු වලින් අමතර වාසියක් ලබාගත හැකි බව වර්තමාන ඉතිහාසය නිරීක්ෂණයයේදී පෙනී යයි. පසුගියදා පැපුවා නිව් ගිනියා කණ්ඩායමට එරෙහිව පන්දුවාරයකදී හයේ පහර 6ක් එල්ල කරමින් ඇමරිකා එක්සත් ජනපද ක්‍රීඩක ජැක්සන් මල්හෝත්‍රා විසින් විශිෂ්ට ලකුණු 173ක් රැස් කළේද මෙම ක්‍රීඩාංගනයේදීය.

අද තරඟය ශ්‍රී ලංකාව දෙසින් ඉතාමත්ම වැදගත් වන්නේ මෙය ලෝක කුසලානයට ජයග්‍රාහී මානසිකත්වෙකින් පිවිසීමට ඇති හොඳම අවස්ථාව නිසාවෙනි. මේ නිසා ලෝක කුසලානයට ක්‍රීඩා කරන්නට නියමිත වන ක්‍රීඩකයන් ගෙන්ම පළමු තරඟය ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකාවට වාසියක් ගෙනදෙනු ඇති බව අපගේ විශ්වාසයයි. කුසල් පෙරේරා ආරම්භක පිතිකරු නොවුණහොත් මෙම තරඟයේදී බානුක රාජපක්ෂ හෝ අවිශ්ක ප්‍රනාන්දු ආරම්භක පිතිකරු ලෙසින් කටයුතු කරනු ඇත. චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා යන දෙදෙනාටම දඟ පන්දු යැවීමට හැකි නිසාවෙන්ම පිටියේ ස්භාවය මත නිත්‍ය වේග පන්දු යවන්නන් දෙදෙනෙක් ක්‍රීඩා කළ යුතු බවට අප විශ්වාස කරන්නෙමු. ජයග්‍රාහී ගමනක් ආරම්භ කිරීමට මෙය ඉතාම හොඳ අවස්ථාවක් වන බැවින් එයින් උපරිම ප්‍රයෝජනය ගැනීමේ වගකීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සතුය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top