සුසන්තිකා ජයසිංහගේ රිදී පදක්කමට අදට වසර 21යි

[vc_row][vc_column][vc_column_text]ඒ 2000 වර්ෂයේ සැප්තැම්බර් මස 28 වනදා , බ්‍රහස්පතින්දා, රූපවාහිනී තිරය ඉදිරිපිට දෙනෙත් අයා බලා සිටියේ කුමක් සිදු වේදැයි කුතුහලයෙනි. මම පමණක් නොවෙයි ක්‍රීඩාවට හිතැති, නොමැති ලාංකික සැමගේ එදා දවසේ මාතෘකාව ඔලිම්පික් හෝ සුසන්තිකා ජයසිංහ නොවූයේ නම් එය පුදුමයකි.

1996න් පසුව වැඩිම පිරිසක් එක තැනකට වී රූපවාහිනී තිරය දෙස බලා සිටියා නම් ඒ අදින් වසර 21කට පෙර විය යුතුය.සිඩ්නි නුවර ඔලිම්පික් ක්‍රීඩාංගණයේ සුවිශාල ක්‍රීඩා ලෝලින්ගේ ඔල්වරසන් මැද මීටර 200 කාන්තා ඉසව්වේ එදා රන් පදක්කම දිනා ගත්තේ එම තරගාවලියේ වැඩිම ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගත් මේරියන් ජෝන්ස් ය. ඒ තත්පර 21යි දශම 84 ක කාලයක් වාර්තා කරමිනි. මේරියන් පසුපස ලොවක් පුදුම කරමින් දිව ආ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වූ සුසන්තිකා රිදී පදක්කම තමන් සතුයැයි සිතා අවසන් මොහොතේ තරගය අතහරින්නට ඇතයි මම සිතමි. එබැවින් දශම එකක පරතරයකින් සුසන්තිකා ට රිදී පදක්කම අහිමිවිය. නොඑසේ නම් මේරියන් ජෝන්ස් වරදකාරිය වූ මොහොතේ ඇයට හිමිවන්නේ රිදී පදක්කම නොව රන් පදක්කමකි.

එවකට කෙටිදුර ඉසව්වක ඔලිම්පික් පදක්කමක් දිනූ පලමු ආසියාතික ක්‍රීඩිකාව වීමේ ගෞරවය ද ඇයට හිමිවිය. ඊට පෙර ලෝක ශූරතා රිදී පදක්කමක් ද දිනූ සුසන්තිකා හට පමණක් නොව මුලු ශ්‍රී ලකාවටම ඔලිම්පික් පදක්කම තවත් ස්වර්ණමය සිහිවටනයකි.

එදා සුසන්තිකා ධාවනයේ යෙදුණේ කහ පැහැති පටියක් අතේ බැඳගෙන බව මට අද මෙන් මතකය. ඒ ජනප්‍රිය හිමිනමක් ලබාදුන් ආශිර්වාදයක් බව ඇය ප්‍රසිද්ධියේ පැවසූ බව ද මතකය. ඒ ආශිර්වාද කෙසේවෙතත් පසු කලෙක තම ඔලිම්පික් පදක්කම වෙන්දේසියේ විකිණීමට තරම් දරුණු තීරණයක් ගැනීමට සුසන්තිකා උත්සාහ කළ බව ද මතකයට එන්නේ දේශපාලනය නිසා බොහෝ දේ ලැබූ මෙන්ම බොහෝ දේ නැති වූ චරිතයකට උදාහරණයක් ලෙස තමන්වම පෙන්වා දීමට ඇය උනන්දු බව ද සිහිකරමිනි.

කරුණු කාරණා කුමක් වූවත් සුසන්තිකාගෙන් පසුව ඔලිම්පික් පදක්කමක් ‍දිනා ගැනීම යනු සිහිනයක් වී දැනට වසර 20ක් බවත් අපට අමතකය. යන්තම් හෝ පදක්කම ආසන්නයට හෝ පැමිණියේ 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී බැඩ්මින්ටන් ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට පැමිණි නිලූක කරුණාරත්න පමණි. (මේ වනවිට පැරාඔලිම්පික් රන් පදක්කමක් පවා ශ්‍රී ලංකාව දිනා ඇත. නමුත් මේ සටහන ඔලිම්පික් ගැනය)

ශ්‍රී ලංකාව වෙනුවෙන් පලමු ඔලිම්පික් පදක්කම දිනූ ඩන්කන් වයිට් නමින් නම්කර ඇති ක්‍රීඩා අමත්‍යංශයේ ශ්‍රවණාගාරයේ බිත්තියක සුසන්තිකා ද ජවසම්පන්නව දිව එන ඉරියව්වකින් එම ශාලාවේ ක්‍රීඩා සංවාදවලට සවන්දෙන්නාක් මෙන් සිටින්නීය. නමුත් සංවාද සාකච්ඡා කොතෙක් තිබුණ ද, ඔලිම්පික් පදක්කමක් දිනාගැනීම නොව සුදුසුකම් ලබා ඔලිම්පික් උළෙලක් නියෝජනය කිරීම පවා තවදුරටත් අපට අභියෝගයක් ව තිබීම කණගාටුවට කරුණක්.

සුසන්තිකා එදත් අදත් තම දක්ශතා ගැන උදම් අනන්නීය. එය ඇය හැර වෙන කවුරුන් කරන්න ද? ඒ සඳහා ඇයට පූර්ණ අයිතියක් ද ඇත . නමුත් වසර විස්සකට පෙර සුසන්තිකා ජයසිංහ දිනූ ඔලිම්පික් පදක්කමෙන් පසුව තවමත් ඔලිම්පික් පදක්කමක් නැත්තේ ඇයි දැයි නැගෙන ප්‍රශ්නයට පිළිතුරක් නොමැත.

~ සුපුන් රජිත හෙට්ට්ආරච්චි ~[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top