බංග්ලාදේශ නැගී එන කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද දඹුල්ලේ දී පැවැත්වුණා. තරගයේ කාසිය වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට අවතීර්ණ වූ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 48 පන්දුවක් අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 245ක් රැස් කිරීමට සමත් වුණා. පන්දුවාර 48 එක්පන්දුවකට ශ්‍රී ලංකා ඉනීම සීමා කරන්නට සිදුවූයේ වර්ෂාව ඇදහැලීම හේතුවෙන්.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අද දිනයේ දී අගනා අර්ධ ශතක ත්‍රිත්වයක් වාර්තා වුණා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක අහන් වික්‍රමසිංහ පන්දු 53 කදී හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 68ක් රැස් කළා. නවෝද් පරණවිතාන පන්දු 71 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 66ක්ද කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් ෂමාස් පන්දු 89 කදී හතරේ පහර 9ක් සමගින් ලකුණු 62 රැස්කිරීමට සමත්වුණා. බංග්ලාදේශය වෙනුවෙන් රිපෝන් මොන්ඩෝල් ලකුණු 32කට කඩුලු 4ක් දවාගත්තා.
ඩක්වත් ලුවිස් න්‍යාය අනුව බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 47 ක දී හිමි වූ ඉලක්කය ලකුණු 251ක්. නමුත් ඔවුනට පන්දුවාර තිස්අටක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 152 ක් පමණි. බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අබ්දුල්ලා අල් මමුන් පන්දු 84 කදී හතරේ පහර දෙකක් සහ හයේ පහර තුනක් සමගින් ලකුණු 64 ක් රැස් කළා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අශේන් ඩැනියල් පන්දුවාර 10 තුළදී නිලකුණු පන්දුවාරයක් ද සමගින් ලකුණු 30කට කඩුලු 4ක් බිඳ හෙළන්නට සමත් වුණා. එෂාන් මාලිංග ලකුණු 36කට කඩුලු 3ක් හා වියස්කාන්ත් ලකුණු 44කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 99ක විශිෂ්ට ජයක් මෙම තරගයෙන් හිමිවුණා.