ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා පිළ මෙහෙයවීමේ වගකීම සිනෙත් ජයවර්ධනට

දෙසැම්බර් 8 වනදා සිට 17 වනදා දක්වා ඩුබායිහිදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සිනෙත් ජයවර්ධනට පැවරී ඇත. ක්‍රීඩකයන් 15 දෙනෙකු හා අතිරේක ක්‍රීඩකයන් දෙදෙනකුගෙන් යුතු සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය වෙනුවෙන් ඉදිරිපත් කොට ඇත.

තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩය යටතේ තරග වදින අතර එහිදී ශ්‍රී ලංකාව සමගින් බංග්ලාදේශය, ජපානය හා එක්සත් අරාබි එමීර් කණ්ඩායම් තරග වදිනු ඇත.ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය එළඹෙන දෙසැම්බර් 9 වනදා ජපානයට එරෙහිව පැවැත්වෙයි.

සිනෙත් ජයවර්ධන ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්වය මල්ෂ තරුපතිට හිමි වී ඇත. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් ජෙහාන් මුබාරක් කටයුතු කරන අතර සම්පත් පෙරේරා සහය පුහුණුකරු ලෙසින් කටයුතු කරයි. චමිල ගමගේ, සචිත් පතිරණ හා ගයාන් විජේකෝන් පිළිවෙලින් වේගපන්දු, දගපන්දු හා පන්දු රැකීමේ පුහුණුකරුවන් ලෙසින් කටයුතු කරයි

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පාකිස්තානයට එරෙහිව එක්දින තරගාවලිය තරග 3-2ක් ලෙසින් ජයග්‍රහණය කළ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ද තරග 2-1ක් ලෙසින් තරගාවලි ජයක් ලැබූහ. පාකිස්තානයට එරෙහි තරගාවලියේ පිත්තෙන් දස්කම් පෑ පුලිදු පෙරේරා, රුසද ගමගේ, සරූජන් ෂන්මුගනාදන්, දිනුර කලුපහන ද පන්දුවෙන් පෑ රුවිෂාන් පෙරේරා, ගරුක සන්කේත් වැනි ක්‍රීඩකයන් ද මෙවර ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වී ඇත.

ශ්‍රී ලංකා සංචිතය
සිනෙත් ජයවර්ධන (නායක), පුලිඳු පෙරේරා, රුසද ගමගේ, රවිෂාන් නෙත්සර, සරුජන් ෂන්මුගනාදන්(wk), දිනුර කළුපහන , විශ්ව ලහිරු , ගරුක සංකේත් , විශේන් හැලඹගේ , රුවිශාන් පෙරේරා,මල්ෂ තරුපති(උපනායක), දුවිදු රණතුංග, හිරාන් කපුරුබණ්ඩාර, දිනුක තෙන්නකෝන්
අතිරේක
ජනිත් ප්‍රනාන්දු, සුපුන් වඩුගේ

Back To Top