ඇඹුල්දෙණිය ගාලු පිටියේ අණසක පතුරුවයි

[vc_row][vc_column][vc_column_text]සංචාරක එංගලන්ත කණ්ඩායමට සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් තරගය තෙවන දිනටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීය. දිනය ආරම්භ කරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 98ක් රැස්කරගෙන සිටියහ. දිනයේ පළමු කඩුල්ල ලෙසින් ලකුණු 28ක් රැස්කළ ජොනී බෙයාස්ටෝ දවාගැනීමට ලසිත් ඇඹුල්දෙණියට හැකිවිය. එම කඩුල්ල දවාගැනීමට විනිසුරු තීරණය අභියෝගයට ලක් කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදුවිය.

නැවත වරක් ක්‍රියාත්මක වූ ලසිත් ඇඹුල්දෙණිය පළමු තරගයේදී අර්ධශතකයක් වාර්තා කළ ඩෑන් ලෝරන්ස්ගේ ඉනීම ලකුණු 3කදී නිමා කරන්නට සමත් විය. නමුත් එතැන් සිට එංගලන්ත නායක ජෝ රූට් සමගින් එක්වූ කඩුලු රකින ක්‍රීඩක ජෝස් බට්ලර් ශ්‍රී ලංකා පන්දුයවන්නට හිසරදයක් බවට පත් විය.දිවා විවේකයට පෙරාතුව ටෙස්ට් දිවියේ දහනව ශතකය සම්පූර්ණ කරන්නට ජෝ රූට්ට හැකිවිය. දිවා විවේකයට තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 181ක් රැස්කරන්නට එංගලන්ත කණ්ඩායමට හැකිවිය.

දිනයේ දෙවන අර්ධයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් පන්දුවට පහර දීමට රූට් හා බට්ලර් වගබලාගත්හ. ටෙස්ට් දිවියේ දහඅටවන අර්ධශතකය හතරේ පහරකින් සම්පූර්ණ කරන්නට ජෝස් බට්ලර්ට හැකිවිය. සිය මංගල ටෙස්ට් කඩුල්ල ලෙසින් ලකුණු 55ක් රැස්කළ ජෝස් බට්ලර් දවාගැනීමට යොවුන් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්ට හැකිවිය. තේ පැන් පානයට පෙර යොමුකළ අවසන් පන්දුවාරයේදී සෑම් කරන් දවාගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් වූයේ ටෙස්ට් දිවියේ තෙවන කඩුලු 5හි අවස්ථාව සිය නම ඉදිරියේ ලියවා ගනිමිනි.

දිනයේ තෙවන අර්ධ අරඹන විට කඩුලු 6කට ලකුණු 252ක් ලෙසින් දිස්වූ එංගලන්ත පළමු ඉනීම තවදුරටත් ඉහළ නංවන්නට රූට් සමගින් එක්වූ ඩොම් බෙස්ට හැකි විය. ජෝ රූට් ටෙස්ට් දිවිය තුළ නවවන වරටත් ලකුණු 150 සීමාව පසුකර යන්නට අද දිනයේදී සමත් විය. රූට් හා බෙස් එක්ව එංගලන්ත ඉනීමේ හත්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක් එක් කරන්නට සමත් විය. ඩොම් බෙස්ගේ ඉනීම ලකුණු 32කදී නිමා කරන්නට ඇඹුල්දෙණියට හැකිවූයේ ටෙස්ට් දිවියේ හොදම පන්දු යැවීම බවට මෙම ඉනීම පත් කරගනිමිනි. නැවතත් ක්‍රියාත්මක වූ ඇඹුල්දෙණිය සිය හත්වන කඩුල්ල ලෙසින් මාක් වුඩ් දවාගැනීමට සමත් විය. මාක් වුඩ්ගේ උඩපන්දුව සුරැකිව රැකගත් ලහිරු තිරිමාන්න වාර්තා පොත් අතරට එක් වූයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ඉනීමක වැඩිම උඩපන්දු රැකගත් පන්දුරකින්නා වශයෙනි. ඔහු එංගලන්ත ඉනීම තුළදී උඩපන්දු 5ක් රැකගැනීමට සමත් විය.

දිනයේ අවසන් පන්දුවාරය තුළදී ඉතා අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීමට එංගලන්ත නායකයාට සිදුවිය. එතෙක් ශ්‍රී ලංකා පන්දුයවන්නට හිසරදයක් වූ ජෝ රූට් දුවද්දී දවාගැනීමට හසුකරගන්නට ශෝට් ලෙග්හි පන්දු රකිමින් සිටි ඕෂධ ප්‍රනාන්දුට හැකිවිය. පන්දු 309කට ක්‍රීඩා කරමින් හතරේ පහර 18ක් සමගින් විශිෂ්ට ලකුණු 186ක් රැස්කරන්නට නායක ජෝ රූට් සමත් විය. එම කඩුල්ල දැවීයාමත් සමගින් අද දිනයට තරගය නිමාවට පත් වූ අතර එංගලන්තය එක් කඩුල්ලක් අතැතිව පළමු ඉනීමේ තවත් ලකුණු 42ක් පසුපසින් රැදී සිටියි.

ශ්‍රී ලංකා පළමු ඉනීම : 381-10 (139.3)
ඇන්ජිලෝ මැතිවුස් 110(238), නිරෝෂන් දික්වැල්ල 92(144), දිල්රුවන් පෙරේරා 67(170), දිනේෂ් චන්දිමාල් 52(121), ලහිරු තිරිමාන්න 43(95)
ජිමී ඇන්ඩසන් 6/40, මාක් වුඩ් 3/84, සෑම් කරන් 1/60

එංගලන්ත පළමු ඉනීම : 339-9 (114.2)
ජෝ රූට් 186(309), ජෝස් බට්ලර් 55(95), ඩොම් බෙස් 32(95)
ලසිත් ඇඹුල්දෙණිය 7/132 , රමේෂ් මෙන්ඩිස් 1/48

– Creeda Sports Network –[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top