ඉතිහාසගත වන LPL සිව්වැන්නේ ක්‍රීඩකයින් තේරීම ජුනි 11

[vc_row][vc_column][vc_column_text]ලංකා ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ කණ්ඩායම්වලට ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් මෙතෙක් පැවැති ක්‍රමවේදය වූ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Player Draft) ක්‍රමවේදය වෙනුවට සිවුවැනි අදියරයේදී ක්‍රීඩකයින් තෝරා ගැනීම ක්‍රීඩක වෙන්දේසියක් හරහා සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. මෙතෙක් ලෝක ක්‍රිකට් පිටියේ පවත්වා ඇති පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ලීගයන්හි ක්‍රීඩක වෙන්දේසියකින් ක්‍රීඩකයින් තෝරා ගනු ලබන දෙවැනි ලීගය ලෙසින්‌‌ මෙවර LPL – 2023 තරගාවලිය ඉතිහාස ගත වනු ඇත.

ලබන ජූලි මස 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස සහ මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි අදියර සඳහා වන එම ක්‍රීඩක වෙන්දේසිය ජුනි මස 11 වැනිදා පැවැත්වීමට සැලසුම් යොදා තිබෙන බව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂකවරයා වන සමන්ත දොඩන්වෙල මහතා අවධාරණය කර සිටියේය.

“මා දන්නා පරිදි ශ්‍රී ලංකාව තමයි ලෝකයෙන්ම මේ ෆ්‍රැන්චයිස් ලීග වල දෙවැනියට ප්ලේයර් ඔක්ෂන් (ක්‍රීඩක වෙන්දේසිය) එකක් තියන්නේ. අපි ඒ ගැන ආඩම්බර විය යුතුයි” යැයි දොඩන්වෙල මහතා සඳහන් කර සිටියේය.

දෙස් විදෙස් ක්‍රිකට් රසික හදවත් නොඉවසිල්ලෙන් බලා සිටින ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිවුවැන්නත් පෙර වසර වල පරිදිම කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර, කණ්ඩායම් 2 ක් හැරුණු කොට අනෙක් සියල්ලම පෙර වසරේ හිමිකරුවෝ හොබවති. කලම්බු ස්ට්‍රයිකර්ස් සහ කැන්ඩි ෆෝල්කන්ස් මෙවර තරගාවලියේ නව හිමිකරුවන්ගෙන් සමන්විත අවතීර්ණ වන කණ්ඩායම් වෙති. ජැෆ්නා කිංග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, අවුරා දඹුල්ල, කැන්ඩි ෆෝල්කන්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් මෙවර තරගාවලියේදී තරග වදින කණ්ඩායම් වෙති.

අයි.පී.ජී. සමූහය සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් සංවිධානය කරනු ලබන LPL තරගාවලිය පිළිබඳව අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී සිව්වැනි අදියට පිළිබඳ වූ ඉහත කරුණු තරගාවලි‌ අධ්‍යක්ෂකවරයා විසින් අවධාරණය කරන ලදී.

ක්‍රීඩක වෙන්දේසිය ඇතුළත් කිරීම හැරුණු විට පෙර තරගාවලි 3 සාපේක්ෂව මෙවර තරගාවලියේදී තවත් කැපි පෙනෙන වෙනස්කම් කීපයක්ම සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. ඒ අතර එක් එක් කණ්ඩායම් සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී මෙතෙක් වැය කරන ලද මුදල ඩොලර් හයලක්ෂ පනස් දහසකින් (650,000/=) ඉහළ දමා තිබේ. අවසන් වසර වල සිදුකරන ලද ක්‍රීඩක කෙටුම්පත් කිරීමේදී කණ්ඩායමක් වෙනුවෙන් වෙන් කරන ලද උපරිම මුදල ඩොලර් තුන් ලක්ෂ පනස් දහසක් (350,000/=) වන නමුත් මෙම වසරේදී එය ඩොලර් මිලියනය (1,000,000/=) දක්වා වැඩි කර තිබේ.
ක්‍රීඩක වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් සිවු දෙනෙකුට සෘජුව ගිවිසුම් ගත වීමේ ඒ ඒ කණ්ඩායම්වලට හිමිවන අතර ඒ සඳහා උපරිමය ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 ක් වැය කළ හැක.ඉතිරි ඩොලර් ලක්ෂ 5 ක මුදල වෙන්දේසියේදී භාවිතා කළ හැකි බව තරගාවලි අධ්‍යක්ෂකවරයා මෙහිදී සදහන් කර සිටියේය.
“අපි වෙන්දේසිය කාණ්ඩගත කිරීමක් අනුව තමයි පවත්වන්නේ. අපි ලියාපදීංචි වෙලා ඉන්න ඔක්කොම ක්‍රීඩකයින් වෙන්දේසියට ඉදිරිපත් කරනවා. ‌එම වෙන්දේසිය සදහා ඇමරිකන් ඩොලර් මිලියනයක් ලබාදීලා තියෙනවා ක්‍රීඩකයින් මිලදී ගන්න. ඒ වගේම වෙන්දේසියට කළින් තමන්ට කැමැති ක්‍රීඩකයින්ව ලබා ගන්න ඩොලර් ලක්ෂ 5 ක මුදලක් දීලාතියෙනවා. ඊට පස්සේ ඔක්ෂන් එකේ තවත් ලක්ෂ 5 ක් වෙනම දීලා තියෙනවා අනික් ක්‍රීඩකයින්ව ලබා ගන්න”.

“ඔවුන් ගාව තියෙන මුදල අනුව තමයි ක්‍රීඩකයින්ව මිලදී ගන්න ඕන. අපි බැලුවොත් අයි.පී.එල්. ඔක්ෂන් එකෙත් ඒකයි වෙන්නේ. ඒ කට්ටිය දීලා තියෙන මුදල් ප්‍රමාණය අනුව ඒ කට්ටියගේ ෆ්‍රනැචයිස් ඕනර්ස්ලායි කාර්යය මණ්ඩලයයි ඉඳගෙන ඒ කණ්ඩායමේ සංයුතිය හදා ගන්න ඕන” යැයි පවසන දොඩන් වෙල මහතා, “හැබැයි කළින් ක්‍රීඩකයින් මිලදී ගන්න දීලා තියෙන ලක්ෂ 5 ක මුදල හරියට පාවිච්චි කරලා නැත්නම් ඒක වෙන්දේසියට අරගෙන එන්න කණ්ඩායම් හිමිකාරීත්වයට අවස්ථාවක් නෑ” යනුවෙන්ද සඳහන් කර සිටියේය.

පාකිස්තානු ක්‍රීඩක බාබර් අසාම්, දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර්, ඔස්ට්‍රේලියාවේ මැතිව් වේඩ්, දකුණු අපිකාවේ ටබ්‍රේෂ් ශම්සි මෙන්ම බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් මෙවර තරගාවලිය නියෝජන සඳහා මේ වන විටත් ගිවිසුම් ගතව සිටින බව දොඩන්වෙල මහතා සදහන් කර සිටියේය.

තරගාවලියේ ශූරතාව දිනා ගනු ලබන කණ්ඩඩායමට ශ්‍රී ලංකා මුදලින් මිලියන 50 ක මුදලක්ද අනුශූරතාව වෙනුවෙන් මිලියන 25 ක මූදලක්ද පිරිනැමෙනු ඇත.මෙම අවස්ථාව සඳහා තරගාවලි අධ්‍යක්ෂකවරයා වන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සමන්ත දොඩන්වෙල මහතාට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු ලේකම් මොහාන් ද සිල්වා, එහි සංවිධාන කටයුතු සිදුකරනු ලබන අයි.පී.ජී. සමූහයේ නිර්මාතෘ සහ එහි ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා යන මහත්වරුද සහභාගිවූහ.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top