ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානුවන් අසරණ කරයි

[vc_row][vc_column][vc_column_text]සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර සිව්වන ටෙස්ට් තරගය ගබ්බාහිදී පැවැත්විණි. තරගාවලිය තරග 1-1 එක් ලෙසින් කණ්ඩායම් දෙකම සමතැන් ගනිද්දී අවසන් ටෙස්ට් තරගය අතිශය තීරණාත්මක විය. තරගයේ කාසිය වාසිය ලද ඕස්ට්‍රේලියානු නායක ටිම් පේන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

පළමු ඉනීම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 369ක් රැස්කළහ. මානස් ලබුශේන්ග් ලකුණු 108කින් ඕස්ට්‍රේලියානු පළමු ඉනීමට අවශ්‍ය අඩිතාලම එක් කළේය. මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළ නටරාජන් කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.

සිය පළමු ඉනීමේදී ඉන්දීය මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වුවද මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළ වොෂින්ටන් සුන්දර් , ශ්‍රද්ධා තාකූර් සමගින් එක්ව ඉන්දීය ලකුණු පුවරුව 336ක් දක්වා ඉහළ නංවන්නට සමත් විය. සුන්දර් හා තාකූර් හත්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 123ක් එක් කරද්දී සුන්දර් හා තාකූර් පිළිවෙලින් ලකුණු 62ක් හා 67ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී ජෝෂ් හැස්ල්වුඩ් කඩුලු 5ක් බිදහෙලීය.

දෙවන ඉනීම ඇරඹූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 294ක් පමණි. ස්ටීවන් ස්මිත් ලකුණු 55කින් ඕස්ට්‍රේලියානු ඉනීම ශක්තිමත් කරද්දී මොහොමඩ් සිරාජ් කඩුලු 5ක් දවාගන්නට සමත් විය. ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 328කි. අද දිනය ආරම්භ කරන විට කඩුලු 10ක් අතැතිව ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 324ක් අවශ්‍ය විය.

දිනයේදී ආරම්භක කඩුල්ල ලෙසින් රෝහිත් ෂර්මා දවාගැනීමට පැට් කමින්ස්ට හැකිවිය. මංගල ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කළ ශුබ්මන් ගිල් ටෙස්ට් දිවියේ දෙවන අර්ධශතකය වාර්තා කරන්නට සමත් විය. ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට එරෙහිව හුරුපුරුදු ක්‍රීඩකයෙකු මෙන් පිත්ත හැසිරවූ ගිල් හතරේ පහර 8ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 91ක් රැස්කර සිටියදී ක්‍රීඩාගාරයට හරවා යවන්නට නේතන් ලයන්ට හැකිවිය.

ඉන්දීය නායක අජින්ක්‍යා රහානේ ලකුණු 22කදී දැවී යද්දී ස්ථාවර පිතිකරුවා වූ පුජාරා සමගින් කඩුලු රකින ක්‍රීඩක පාන්ට් ක්‍රීඩා පිටියට එක්විය. රිෂාබ් පාන්ට් ටෙස්ට් ලකුණු 1000 සීමාව පසු කිරීමට අද දිනයේදී සමත් වූයේ ඉන්දියාව වෙනුවෙන් වේගවත්ම ටෙස්ට් ලකුණු දහස සම්පූර්ණ කළ ක්‍රීඩකයා බවට පත් වෙමිනි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ටෙස්ට් ඉනීමක් දියත් කළ චිටේෂ්වර් පුජාරා සිය 28වන ටෙස්ට් අර්ධශතකය වාර්තා කළේය.

ඉන්දීය ඉනීමට අවශ්‍ය අඩිතාලම සකසමින් පන්දු 221කට මුහුණ දී හතරේ පහර 7ක් පමණක් එල්ල කොට ලකුණු 56ක් රැස්කළ පුජාරා ඉන්දීය සිව්වන කඩුල්ල ලෙසින් දැවී ගියේ තරගය ඕස්ට්‍රේලියානුවන්ට වාසිදායක වේදැයි යන ප්‍රශ්නාර්ථය ඉතිරි කරමිනි. නමුත් සටන අත්හරින්නට සූදානම් නොවූ රිෂාබ් පාන්ට් ටෙස්ට් දිවියේ සිව්වන අර්ධශතකයද වාර්තා කළේ ඉන්දීය ධජයන් ගබ්බා පිටියේ ඉහලට ඔසවමිනි. ලකුණු 9ක් රැස්කළ අගර්වාල්ගේ දැවීයාම තරගයේ ජය වෙනුවෙන් බාධාවක් නොකරගන්නට මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළ සුන්දර් වගබලාගත්තේය.

දිනයේ අවසන් පන්දුවාර 10 තුළදී ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය පිළට කඩුලු 5ක් අතැතිව තවත් ලකුණු 53ක් අවශ්‍ය විය. පාන්ට් හා සුන්දර් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නට එරෙහිව තරමක් වේගයෙන් ලකුණු රැස්කරන්නට විය. පන්දු 25ක් තුළ ජයග්‍රහණයට තවත් ලකුණු 10ක් අවශ්‍ය මොහොතේදී පන්දු 29කදී ලකුණු 22ක් රැස්කළ වොෂින්ටන් සුන්දර් දවාගැනීමට ලයන්ට හැකිවිය. නැවතත් රිෂාබ් පාන්ට් වෙතට පීඩනයක් එල්ල වූයේ ලකුණු 3ක් අවශ්‍ය මොහොතේ තාකූර්ගේ දැවීයාමත් සමගිනි.ඒ සියල්ල පුස්සක් බවට පත් කරමින් වසර 32කට පසු ගබ්බා ක්‍රීඩාංගණයේ ටෙස්ට් ජයක උණුසුම විදගන්නට ඉන්දියානුවන්ට හැකිවූය්වෙ පාන්ට්ගේ පිත්තෙන් එල්ල වූ හතරේ පහරත් සමගිනි. විශිෂ්ටතම ඉනීමක් දියත් කළ රිෂාබ් පාන්ට් පන්දු 138කදී හතරේ පහර 9ක් හා හයේ පහරක් සමගින් ජයග්‍රාහී ලකුණු 89ක් රැස්කිරීමට සමත් විය. තරගයේ වීරයා සම්මානයෙන් පාන්ට් පිදුම් ලබද්දී තරගාවලියේ වීරයා බවට පැට් කමින්ස් පත් විය.නායක කෝලි තරගාවලිය අතර මැද ඉන්දියාවට පැමිණෙද්දී රහානේගේ නායකත්වයෙන් යුතු ඉන්දීය පිළ තරගාවලියේ ජය තරග 2-1ක් ලෙසින් තහවුරු කර ගැනීමට සමත්විය. ආබාධයන්ට මධ්‍යයේ ජේෂ්ඨයන් නොමැතිව ඉන්දීය කණ්ඩායම තරගාවලිය ජයග්‍රහණය කළ ආකාරය පැසසීමට ලක් කළ යුතුමය

ඕස්ට්‍රේලියානු පළමු ඉනීම – 369-10 (115.2)
මානස් ලබුශේන්ග් 108(204), ටිම් පේන් 50(104), කැමරන් ග්‍රීන් 47(107)
නටරාජන් 3/78 , වොෂින්ටන් සුන්දර් 3/89 , ශ්‍රද්ධා තාකූර් 3/94

ඉන්දීය පළමු ඉනීම – 336-10 (111.4)
ශ්‍රද්ධා තාකූර් 67(115), වොෂින්ටන් සුන්දර් 62(144), රෝහිත් ෂර්මා 44(74)
ජෝෂ් හැස්ල්වුඩ් 5/57, මිචෙල් ස්ටාක් 2/88, පැට් කමින්ස් 2/94

ඕස්ට්‍රේලියානු දෙවන ඉනීම – 294-10 (75.5)
ස්ටීව් ස්මිත් 55(74), ඩේවිඩ් වෝනර් 48(75), මාකස් හැරිස් 38(82)
මොහොමඩ් සිරාජ් 5/73, ශ්‍රද්ධා තාකූර් 4/61

ඉන්දීය දෙවන ඉනීම – 329-7 (97.0)
ශුබ්මන් ගිල් 91(146), රිෂාබ් පාන්ට්* 89(138), චිටේෂ්වර් පුජාරා 56(211)
පැට් කමින්ස් 4/55, නේතන් ලයන් 2/85

– Creeda Sports Network –[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top