ඔස්ට්‍රේලියාව සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 49 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. තරගය අද දිවා තරගයක් ලෙස පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත අසලංක, පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු පහ ලකුණු 55 ක් තුළ දවා ගැනීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා. අනතුරුව චරිත් අසලංක සහ දුනිත් වෙල්ලාලගේ 6 වන කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 67 ක්. දුනිත් වෙල්ලාලගේ 6 වන කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු
30 ක් ලබා සිටියදී. ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 8 ක්, ලකුණු 135 ක් තුළ දැවී ගියා. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක, අද වාර්තා කළේ තම එක්දින ක්‍රිකට් දිවියේ සිව්වැනි ශතකයයි. ඔහුට අනගි සහයක් ලබා දීමට වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග සමත් වුණා. චරිත් අසලංක ශ්‍රී ලංකා ඉනිමේ 9 වන කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 127 ක් ලබා සිටියිදී. චරිත්ගේ ඉනිමට හතරේ පහර 14 ක් සහ හයේ පහර 5 ක් ඇතුළත්.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 46 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 214 ක්. පන්දු යැවීමේ දී ෂෝන් ඇබට් කඩුලු 3 ක් බිඳහෙලුවා. ස්පෙන්සර් ජොන්සන්, ඒරල් හාඩි සහ නේතන් ඇලිස් අතර කඩුලු දෙක බැගින් බෙදී ගියා. තරගය ජය ගැනීම සඳහා ලකුණු 215 ක ඉලක්කයක් සමග ඔස්ට්‍රේලියා ඉනිම ආරම්භ කළේ මැතිව් ෂෝර්ට් සහ ජේක් ෆ්රේසර්. ඔවුන් දෙදෙනාම ලකුණු 7 ක් ඇතුළත දවා ගැනීමට, අසිත ප්‍රනාන්දු සමත් වීම විශේෂත්වයක්. ඔස්ට්‍රේලියා ඉනිමේ මුල් කඩුලු හතර ලකුණු 31 ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට පිටිය තුළ ස්ථාවර වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදීම විශේෂත්වයක්. ඒ අනුව ඕස්ට්‍රෙලියාව පන්දු වාර 33 යි, පන්දු 5 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 165 ක් ලබාගත්තා. වැඩිම ලකුණු ලාභියා වූ ඇලෙක්ස් කේරි ලකුණු 41 යි. පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ ලකුණු 40 කට කඩුලු 4 ක් බිඳහෙලුවා. අසිත ප්‍රනාන්දු සහ දුනිත් වෙල්ලාලගේඅතර කඩුලු දෙක බැගින් බෙදී ගියා. තරගයේ වීරයා චරිත් අසලංක.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවැනි එක්දින තරගය ලබන සිකුරාදා පැවැත්වීමට නියමිතයි.