ජාත්‍යන්තර පිටියට සමුදුන් තිසර

[vc_row][vc_column][vc_column_text]තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව ප්‍රකාශයට පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.
දක්ෂතා ඇති තරුණ ක්‍රීඩකයින්ට කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ ඉඩ ප්‍රස්ථාව විවර කර දීමේ අරමුණ ඇතිව තමන් එම තීරණයට එළැඹි බවත්, ඒ සඳහා වන සුදුසුම කාලය මෙය බවත් ලිපියක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.

එම ලිපිය මඟින් වැඩිදුරටත් කරුණු දක්වා ඇති තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා, තම පෞද්ගලික ජීවිතය වෙනුවෙන් වැඩි ඉඩ කඩක් වෙන් කිරීමට මේ හරහා හැකියාවද තමාට හිමිවන බව පෙන්වා දී තිබේ.

2009 වසරේදී ජාත්‍යන්තර තරග පිටියට පිවිස් තිසර පෙරේරා, මේ තරම් කලක් තමන් වෙනුවෙන් උදව් උපකාර කළ කණ්ඩායමේ සාමාජිකයින්, අතීත සහ වර්තමාන කණ්ඩායම් වල නායකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක, කළමනාකරණ කමිටු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කාර්ය මණ්ඩලයද සිය ලිපිය මගින් ස්තූතිය පළ කර තිබේ.

“ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 7 කට ක්‍රීඩා කිරීමට මගේ ක්‍රීඩා දිවිය තුළ අවස්ථාව උදාවුණා. 2014 වසරේදී බංග්ලාදේශයේ පැවැති පන්දුවාර විස්සයි-20 ලෝක කුසලානය ජයග්‍රහණ කළ කණ්ඩායමේ සාමාජිකයකු වීම ගැන මම ආඩම්බර වෙනවා. ඉන්දියාවට එරෙහිව පැවැති අවසන් මහ තරගයේ ලද එම සුවිශේෂී ලෝක කුසලාන ජයග්‍රහණය මගේ ජීවිතයේ අමතක නොවනම අවස්ථා බවට පත්ව තිබෙනවා” යි සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එක්දින ජාත්‍යන්තර තරග 3 කදීත් විස්සයි-20 තරග 9 කදීත් ශ්‍රී ලංකාව මෙහෙයවා ඇති තිසර පෙරේරා ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදුකරන ලද අසම සම සේවාව අගය කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථකත්වයට පත්වේවායි සුභාශිංසන පළ කර සිටියි.

“තිසර දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. රටේ ජයග්‍රහණයන් සඳහා අවස්ථා කීපයකදීම ඔහු කීර්තිමත් දායකත්වයක් ලබා දී තිබෙනවා” යි තිසරගේ තීරණය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා සඳහන් කර සිටියි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top