දසුන්ට අමෙරිකානු ඩොලර් දසදහසක දඩයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට අමෙරිකානු ඩොලර් දසදහසක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. දේශීය අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියක තරගයක් අතරතුර, නිසි අවසරයකින් තොරව, ඩුබායි හි ලීග් තරගයකට සහභාගී වීම දසුන්ට මෙම දඩය පැනවීමට හේතුවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ, දසුන් ශානක ශ්‍රී ලංකා ක්‍රිකට් සමග අත්සන් කර තිබෙන ක්‍රීඩක කොන්ත්‍රාත්තුව උලංඝනය කර ඇති බවයි. ඒ අනුවයි, ඔහුට මෙම විනය ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ. දසුන් ශානක මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතරතුර ආබාධයක් හේතුවෙන් ක්‍රීඩාංගනයෙන් කළින් පිටත්ව යාමට අවසර ඉල්ලා තිබෙනවා. ඔහු වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීම හේතුවෙන්, ඔහුට විවේක ලබා ගැනීම සඳහා අවසර හිමි වූ අතර, එදිනම රාත්‍රියේදී දසුන් ශානක ඩුබායි බලා පිටත්ව ගොස්, ඩුබායි ලීග් ක්‍රිකට් තරගාවලියේ තරගයකට ක්‍රීඩා කර තිබෙනවා. මෙම ක්‍රියාව, විනය නීති උලංඝනයක් බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී දසුන්, තමා කළ ක්‍රියාව වරදක් බවට පිළිගෙන ඇති බවත්, ඉදිරියේදී මෙවන් දෙයක් සිදු නොකරන බවත්, ප්‍රකාශ කළ බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත්තේ. කෙසේ වෙතත් කළ වරද හේතුවෙන් ඔහුට අමෙරිකානු ඩොලර් දසදහසක් දඩ ලෙස ගෙවීමට සිදු වනවා.

Back To Top