ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර පිටියෙන් සමුගනියි

[vc_row][vc_column][vc_column_text]වේග පන්දු යවන්නකු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ලද ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.

සමුගන්නා විටත් 37 හැවිරිදි වියේ පසු වූ ධම්මික ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 25 කට සහ ජාත්‍යන්තර එක්දින තරග 32 කට ක්‍රීඩා කර තිබේ. 2001 වසරේදී පළමු පෙළ වරම් දිනා ගන්නා ධම්මික ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කරන විටත් එස්. එස්. සී. පිල නියෝජනය කළේය.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව 2015 වසරේ පැවැති ටෙස්ට් තරගාවලියේදී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව සිය සමුගැන්ම ප්‍රකාශ කරන තෙක් ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමේ අවස්ථාව ධම්මිකට හිමි නොවීය.

කඳාන ද මැසනොද් විදුහලේ ආදි සිසුවකු වන ධම්මික ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 ජාත්‍යන්තර තරගයකටද ක්‍රීඩා කර ඇත. බංග්ලාදේශයට එරෙහිව 2006 වසරේ පැවැති තරගයකදී එක්දින වරම් දිනා ගත් ධම්මික කඩුලු 32 ක් ද 2008 වසරේදී ටෙස්ට් වරම් දිනා ගනිමින් කඩුලු 75 ක්ද දවා ගැනීමට සමත්ව තිබේ.

පළමු පෙළ තරග 130 කට ක්‍රීඩා කර ඇති දකුණත් වේග පන්දු යවන්නා කඩුලු 351 ක්ද එක්දින තරග 119 කදී කඩුලු 154 ක් දවා ගැනීමට සමත්ව සිටින්නේය. විස්සයි-20 තරග 21 කටද ක්‍රීඩා කර ඇති ධම්මික එහිදී කඩුලු 19 ක් බිඳ හෙළීමට සමත්ව තිබේ.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top