නදීෂා ලේකම්ගේ ඔලිම්පික් සිහිනයට ලං වෙද්දී යුපුන් යළිත් ආබාධයට ලක් වෙයි

102වන ජාතික මළල ක්‍රීඩා ශූරතාවලිය අද දෙවන දිනටත් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. අද දිනයේදී වැඩි කතාබහට ලක් වූ තරග ඉසව්වන් බවට පත් වූයේ කාන්තා හෙල්ල විසිකිරීම, පිරිමි මීටර් 100 සහ 400 යි.

අද උදෑසනම පැවති කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී මීටර් 55.77ක දක්ෂතාවක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වුණා. මෙම දක්ෂතාවත් සමගින් ඇයට පැරිස් ඔලිම්පික් ශ්‍රේණිගතකිරීම් හි 23වන ස්ථානය තෙක් ඉදිරියට පැමිණීමට අවස්ථාව හිමි වන අතර ඇයට ඔලිම්පික් වරම් දිනාගැනීමට වැඩි අවස්ථාවක් හිමිවී තිබෙනවා.

එමෙන්ම අද දිනයේදී පැවති මීටර් 400 පිරිමි තරග ඉසව්වේ දී ප්‍රථම ස්ථානය දිනාගැනීමට අරුණ දර්ශන සමත් වූයේ තත්පර 45.51ක කාලයක් වාර්තා කරමින්. එහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් කාලිංග කුමාර සහ දිනුක දේශාන්ට හිමි වුණා. මීටර් 400 කාන්තා ඉසව්වේ ප්‍රථම ස්ථානය නදීෂා රාමනායකටත් දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් සයුරි මෙන්ඩිස් සහ නිශේන්ද්‍රා ප්‍රනාන්දුටත් හිමිවුණා.

මීටර් 100 කාන්තා තරග ඉසව්වේ දී අමාෂා ද සිල්වා අභිබවමින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට තිලක්ෂි මුතුකුමාරණට හැකිවුණා. තිලක්ෂි තත්පර 12.03කින්ද අමාෂා සහ ලක්ෂිකා පිළිවෙලින් තත්පර 12.06ක් සහ 12.10කදී තරග ඉසව්ව අවසන් කළා. දිනයේ වැඩි අවදානයක් යොමු වූ පිරිමි මීටර් 100 ඉසව්වේ මූලික වටයේ දී කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් අවාසනාවන්ත ලෙසින් ආබාධයට ලක්වුණා. මීටර් 100 මූලික වටයේ දී හොදම කාලයන් වාර්තා කරන්නට චමෝද් යෝධසිංහ(10.46) සහ මෙරෝන් විජේසිංහ(10.52) ට හැකියාව ලැබුණා.

Back To Top