නැමීබියාව විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි.

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් අප්‍රිකානු කලාපයෙන් සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත් වන්නට නැමීබියාව අද දිනයේදී සමත් විය. ඒ ටැන්සානියාවට එරෙහිව පැවති තරගය ලකුණු 58කින් ජයග්‍රහණය කරමින්. ඒ අනුව ඔවුන් තෙවන වරටත් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

2024 විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ අප්‍රිකානු තරගාවලිය මේ දිනවලදී පැවැත්වෙයි. කණ්ඩායම් හතක් ඊට සසහභාගි වන අතර නැමීබියාව ක්‍රීඩා කළ තරග 5ම ජයග්‍රහණය කිරීමට සමත් විය. ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගැනීමට සමත් විය. මෙම තරගාවලියේ ප්‍රසාද ලලකුණු පුවරුවේ ඉහළම ස්ථාන 2 හිමිකරගන්නා රටවල් මීළඟ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය වෙනුවෙන් උගන්ඩාව, නයිජීරියාව, සිම්බාබ්වේ හා කෙන්යාව අතර සටනක් නිර්මාණය වී ඇත. මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ දෙවන තැන තරග 3ක් ජයගත් උගන්ඩාවට හිමි වී ඇති අතර තරග 3ක් ජයගත් කෙන්යාව තෙවන තැන පසුවන්නේ ප්‍රසාද ලකුණු 6ක් හිමිකරගනිමිනි. සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රසාද ලකුණු 4ක් හා නයිජීරියාව ප්‍රසාද ලකුණු 3ක් රැස්කොටගෙන සිටියි.

Back To Top