පළමු තරගය ජය පැරදුමෙන් තොරයි !

[vc_row][vc_column][vc_column_text]අවසන් දිනයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 341 ක් ලබා ගැනීමේ අභියෝගය පසෙක තැබූ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් ජය පැරදුමෙන් තොරවූ තරගාවසානයක් වෙනුවෙන් සැලසුම් සහගතව පන්දුවට පහර දීම නිසා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වෝ සමත්වූහ.

ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පස්වැනි දිනයේදීත් තණතීරුව පිතිකරුවන්ට ඉතාමත් යෝග්‍ය මට්ටමක පැවැතීම පුදුමය දනවන්නක් විය. එහිදී කඩුලු 9 ක් අතැතිව පස්වැනි දිනය වූ බ්‍රහස්පතින්දා දින තරගයට අවතීර්ණ වුණු කොදෙව් පිතිකරුවන්ට ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට රඳවා ගත යුතු වූයේ ලකුණු 3.75 ක අගයක් වන නමුත් ලකුණු 2.53 ක වේගයක් රඳවා ගත් කොදෙව් පිතිකරුවෝ තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගත්හ.

අවසන් දිනයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් සියලු දෙනාම ඉතාමත් හොඳින් පන්දු යැවූ හෙයින් අනවශ්‍ය අමාරුවකට නොවැටීමට කොදෙව් පිතිකරුවෝ වගබලා ගත්හ. එබැවින් දිනය අවසන් වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 236 ක් ලබා තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගත්හ.

කොදෙව් පිල වෙනුවෙන් දිනය පුරා පන්දුවට පහර දුන් නිකෘමා බෝනර් ලකුණු 113 ක් ලබා ජය පැරදුමෙන් තොරව තරගය නිමා වන තෙක්ම සිය කඩුල්ල ආරක්ෂා කර ගත්තේය. පන්දු 274 ක් පුරා විහිදුණු බෝනර්ගේ ඉනිම ඔහුට තරගයේ වීරයා සම්මානයද ගෙන දුන්නේය. බෝනර් දවා ගැනීම වෙනුවෙන් උඩ පන්දුවක් රැක ගත්තේ යැයි කරන ලද ඉල්ලීමට කරන ලද ඉල්ලීම නිෂ්ප්‍රභා වූ නමුත් එය තෙවැනි විනිසුරුගෙන් විමසීමට ශ්‍රී ලංකා කණ්ඩායම මැළිවූහ. එහෙත් පුණරූපනවලට අනුව එය බෝනර්ගේ පිත්තේ පිටත දාරයේ වැදී යන්නක් බව පැහැදිළිවම සටහන් විය. එම අවස්ථාවේදී ශ්‍රී ලංකා පිල ප්‍රධාන විනිසුරුගේ තීරණය අභියෝගයට ලක් කළේ නම් බෝනර්ට සිය මංගල ශතකය ලබා ගැනීම පසෙකලා ඉනිම ලකුණු 07 කදී අවසන් කොට පිටියෙන් ඉවත්වීමට සිදුවනු ඇත.

තරග ආරම්භයට වර්ෂාවෙන් කිසියම් බාධා පැමුණුනද නියමිත පන්දුවාර සංඛ්‍යාව යැවුණු පස්වැනි දිනයේදී බෝනර්ට අමතරව කයිල් මේයර්ද ලකුණු 52 ක් ලබා ගනිමින් දෙවැනි අර්ධ ශතකයට හිමිකම් කීවේය. දිවා ආහාරයට ප්‍රථම නායක ක්‍රෙග් බ්‍රැත්වයිට්ව දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් වුවත් ඉතා ආරක්ෂාකාරී පිළිවෙතක් කොදෙව්වෝ අනුගමනය කළහ. නායකයාගේ දැවී යෑමේ පටන් පන්දුවට පහර දුන් බෝනර්සහ මේයර් යුගල තේ පානය තෙක්ම කඩුලු ආරක්ෂා කරගනිමින් ජය පැරදුමෙන් තොරව වුණු අවසානයකට කණ්ඩායම සුරක්ෂිත කළහ. ඒ අතරතුරදී ඔවුහු ලකුණු 103 ක් එක් කරගත්හ.

තේ පානයෙන් පසු යවන ලද පළමු පන්දුවාරයේදීම එම සම්බන්ධතාව බිඳ දැමීමට ලසිත් ඇඹුල්දෙණිය සමත්වූවේය. ළහිරු තිරිමාන්න ස්ලිප් හි සිට උඩ පන්දුවක් රැක ගැනීම නිසා මේයර්ස් දැවී ගියේය. අනතුරුව විශ්ව ප්‍රනාන්දුද බ්ලැක්වුඩ්ගේ කඩුල්ල දවා ගනිමින් යළිත් කිසියම් බලාපොරොත්තුවක් ගොඩනංවන්නට සමත්වූවේය.

කෙසේ වෙතත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් බෝනර්ට එක්වූ ජේසන් හෝල්ඩර් අවසන් පැය තෙක්ම තරගය රැගෙන ගියහ. අවසන් පැය එළඹෙත්ම තරගය ජය පැරදුමෙන් තොර අවසානයක් පෙන්නුම් කළ හෙයින් දෙපිළේම නායකයින්ගේ කැමැත්තෙන් තරගය නිමා කර දැමීමට කටයුතු කළහ.

පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය සහ විශ්ව ප්‍රනාන්දු කොදෙව් ඉනිමේ දැවී ගිය කඩුලු 4 අඩක් බැගින් බෙදා ගත්හ. දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලබන මාර්තු 29 වැනිදා නෝර්ත් සවුන්ඩ්හිදී ආරම්භ වේ.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top