මංගල තරගයෙන්ම වාර්තා පොත් අතරට ගිය දුනිත්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූයේ වෙනස්කම් දෙකක් සමගින්. ඒ නුවන් තුෂාර සහ දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට කැඳවමින්.

සිය මංගල විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් අසරණ කරමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණා. වෙල්ලාලගේ සිය පන්දුවාර හතර තුළදී නිළකුණු පන්දු 16ක්ද සමගින් ලකුණු 9කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතුරින් විස්සයි විස්ස මංගල තරගයේදී ක්‍රීඩකයෙකු යොමුකළ දෙවන හොදම ඉකොනොමිකල් පන්දු යැවීම ලෙසින් දුනිත්ගේ පන්දු යැවීම වාර්තා අතරට එක්වුණා. එම පන්දු යැවීම දෙවනි වන්නේ මංගල තරගයේදී කොදෙව්වන්ට එරෙහිවම ලකුණු 7කට කඩුලු 4ක් දවාගත් ශඩාබ් ඛාන්ගේ පන්දු යැවීමට පමණයි.

මංගල විස්සයි ජාත්‍යන්තර තරගයේ හොදම ඉකොනොමිකල් පන්දු යැවීම්

ශඩාන් ඛාන් – 4/7 Vs West Indies
දුනිත් වෙල්ලාලගේ – 3/9 Vs West Indies
බුවනේෂ්වර් කුමාර් – 3/9 Vs Pakistan
ගැරී මතුරීන් – 3/9 Vs England
රේ ප්‍රයිස් – 2/9 Vs Sri Lanka

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 5ක් දැවී ලකුණු 162ක් රැස්කිරීමට සමත් වුණා. එහිදී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 54ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 26ක් සහ කුසල් පෙරේරා ලකුණු 24ක් රැස්කළා.

ඉලක්කය හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 16 එක් පන්දුවකදී රැස්කිරීමට සමත් වූයේ ලකුණු 89ක් පමණි. එහිදී පන්දුවෙන් දස්කම් පෑ දුනිත් ලකුණු 9කට කඩුලු 3ක්, චරිත් අසලංක සහ මහීෂ් තීක්ෂණ කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වුණා. ඒ අනුව දෙවන තරගය ලකුණු 73කින් ජයගත් ශ්‍රී ලංකා තරගාවලිය 1-1ක් ලෙසින් සමකරන්නට සමත් වුණා.

Back To Top