2023 ලෝක කුසලාන එක්දින තරගාවලියේ, නිමා වූ ශ්‍රී ලංකා බංගලාදේශ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීණ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ගේ කඩුල්ල, බංගලාදේශ නායක ශකිබ් අල් හසන් විසින් කාලය ඉක්මයාම හේතුවෙන් ලබා ගැනීමට කටයුතු කළ අතර ඒ පිළිබඳව ජාත්‍යන්තරයේ දැඩි කතා බහට ලක් විය.
තරගයේ පළමු ඉනිමේ දී පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ සදීර සමරවික්‍රම සිව්වන කඩුල්ල ලෙස දැවී ගිය පසු පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහර දීමට සූදානම් වන විට ඔහුගේ හිස් ආවරණයේ පටිය ගැළවී ගියේය. ඉන්පසු ඔහු වෙනත් හිස් ආවරණයක් ලබා ගැනීම සඳහා සූදානම් වන අවස්ථාවේ බංගලාදේශ නායක ශකිබ් අල් හසන් විසින් පිටියේ විනිසුරුවන්ගෙන් මැතිව්ස්ගේ කඩුල්ල ඉල්ලා සිටියේය. ඒ අනුව time-out ක්‍රමවේදයට අනුව දැවී ගිය ලොව පළමු ක්‍රීඩකයා ලෙස මැතිව්ස් වාර්තා අතරට එක් විය.
මේ පිළිබඳ අදහස් දැක්වූ ප්‍රවීණ විස්තර විචාරකයෙකු වන මයිකල් ඇතර්ටන් කියා සිටියේ ශකිබ්ගේ මැතිව්ස් දවා ගැනීමේ තීරණයට කිසිදු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු එකඟ නොවනු ඇති බවයි. තවදුරටත් ඔහු කියා සිටියේ පිටියේ විනිසුරුවන්ගේ කිසිදු වරදක් නොමැති බවත් ක්‍රිකට් නීති ආරක්ෂා කිරීම ඔවුන්ගේ වගකීමක් බවත් ය. නමුත් මැන්කාඩ් අවස්ථාව පිළිබඳ තමන් වෙනත් මතයක සිටින බව සහ ඇන්ජලෝ මැතිව්ස් සහ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව තමන්ට විශාල අනුකම්පාවක් ඇති බවත් ඔහු කියා සිටියේය.
එසේම මෙම දැවී යාම පිළිබඳව හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයකු වන මැතිව් හේඩ්න් කියා සිටියේ එය ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානියක් වන බවයි. එසේම ක්‍රිකට් ක්‍රීඩාවේ නීති තිබුණද එම අවස්ථාවේ දී සාමාන්‍ය දැනුම පාවිච්චි කළ යුතුව තිබුණ බවත්, මෙය කෙසේ හෝ ජයග්‍රහණය ලබා ගත හැකි ක්‍රීඩාවක් නොවන බව සහ ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවක් බව ඔහු කියා සිටියේය. එසේම මෑතකදී ඕස්ට්‍රේලියාව ද පන්දුව සීරීමකට ලක් කිරීමට ලක් වූ අතර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ද්ෘෂ්ඨි කෝණයට අනුව එය පිළිකුල් කළ දෙයක් ලෙස ද ඔහු සඳහන් කළේය.