මැයි මාසය සදහා නිර්දේශිත ICC ක්‍රීඩකයා සම්මානයට ප්‍රවීන් ජයවික්‍රමගේ නමත්.

[vc_row][vc_column][vc_column_text]ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය හදුන්වා දුන් මාසික ක්‍රීඩකයා සම්මානයට අදාලව මැයි මාසය සදහා නිර්දේශිත නාමයන් අද,දිනයේදී ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව මැයි මාසය තුළදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් නම්කළ ක්‍රීඩකයන් තිදෙනාම ආසියාතික ක්‍රීඩකයන්ය.

එම ක්‍රීඩකයන් තිදෙනා අතරට යොවුන් ශ්‍රී ලංකා දගපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමද ඇතුළත්ය. අනෙකුත් ක්‍රීඩකයන් දෙදෙනා වනුයේ පකිස්ථාන වේගපන්දු යවන ක්‍රීඩක හසන් අලී හා බංග්ලාදේශ කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම්ය.

බංග්ලාදේශය සමගින් පැවති දෙවන ටෙස්ට් තරගයේදී ලකුණු 178කදී කඩුලු 11ක් දවාගැනීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් විය. ඔහුගේ නම ඉදිරියේ ශ්‍රී ලංකා වාර්තා රැසක් ලියවෙද්දී ජාත්‍යන්තර වාර්තා පොත් අතරට එක්වන්නටද ඔහුට හැකිවිය. මංගල ජාත්‍යන්තර ටෙස්ට් තරගයේ ඉනීම ද්විතවය තුළදීම කඩුලු 5 බැගින් දවාගැනීමට ප්‍රවීන්ට හැකිවූයේ වසර 33කට පසුව එවන් දස්කමක් පෑ පළමු ක්‍රීඩකයා බවට පත් වෙමිනි.

පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක හසන් අලි මෙම ක්‍රීඩකයන් අතරට එක්වූයේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව දැක්වූ දක්ෂතා හේතුවෙනි. තරගාවලිය තරග 2-0ක් ලෙසින් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරද්දී ඊට හසන් අලී සිය දායකත්වය එක් කරන්නේ තරගාවලිය තුළදී කඩුලු 14ක් බිදහෙලමිනි. එම තරගාවලිය තුළ ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍ය ලෙසින් ලකුණු 8.92ක් පමණක් සටහන් වී ඇත.

මැයි මාසය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව විශිෂ්ට දස්කම් දක්වන්නට බංගලාදේශ කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් සමත් විය. ඔහු මෙරටදී පැවති දෙවන ටෙස්ට් තරගයේදී ලකුණු 80ක් රැස්කිරීමට සමත් වද්දී ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේදී ලකුණු 237ක් රැස්කිරීමට සමත් විය. ඊට එක් ශතකයක් හා අර්ධශතක දෙකක් ඇතුළත් වූ අතර තරගාවලියේ වීරයා බවටද ඔහු සම්මාන ලැබීය.

 

Creeda Sports Network

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top