[vc_row][vc_column][vc_column_text]2022 කාන්තා ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ වටය මෙම වසරේ ජුනි මාසයේදී මෙරටදී ආරම්භවීමට නියමිතය. එම සුදුසුකම් ලැබීමේ වටය අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කොළඹ P.Sara Oval ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කොට ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්තිර පුහුණුකරුවන් පත් කරන තෙක් කාන්තා ජාතික කණ්ඩායම පුහුණු කිරීමේ වගකීම ලංකා ද සිල්වාට පැවරී ඇත. එමෙන්ම වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරනුයේ මහේෂ් වීරසිංහයි.
“අපි ස්ථිර පුහුණුකරුවකු සොයමින් සිටිනවා. රටේ තත්වය සාමාන්‍ය අතට හැරෙන තෙක් අපි බදවාගැනීම්වලට නොයා ඉන්න තීරණය කරල තියෙනවා.” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විදායක නිළධාරී ඈෂ්ලි සිල්වා Daily Ft වෙබ් අඩවියට අදහස් දක්වා ඇත.
2020 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති පන්දුවාර විස්ස කාන්තා ලෝක කුසලානය අවසානයෙන් අනතුරුව හර්ෂ ද සිල්වාගේ කොන්ත්‍රාත්තුව අලුත් නොකිරීම නිසා එතැන් සිට කාන්තා කණ්ඩායමට ස්තිර පුහුණුකරුවකු නොසිටි බවද එම වෙබ් අඩවිය වාර්තා කරයි.
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටයට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාව උනන්දු වන බවත් ඔවුන් මේ වන විට අදාළ ක්‍රිකට් මණ්ඩල සමඟ සාකච්ඡා කරමින් සිටින බව කාන්තා ක්‍රිකට් ජාත්‍යන්තර හා දේශීය මෙහෙයුම් සහ සංවර්ධනය භාර උපදේශක මනෝජ කාරියප්පෙරුම පවසා ඇත.
” අපිට විසදුම් දෙකක් තිබෙනවා. පාකිස්තානය හා බංගලාදේශ සමගින් තුන්කොන් තරගාවලියක් හෝ නැතිනම් පාකිස්තානය සමග තරගාවලියක් ක්‍රීඩා කරන්න අපිට පුලුවන්. අපි බංගලාදේශ හා ඉන්දීය ක්‍රිකට් ආයතන සමගින්ද සාකච්ඡා සිදුකරනවා. අපිට එම රටවල සංචාරයට එක්වෙන්න තියෙනවා නම් හොදයි. මක්නිසාද PCR පරීක්ෂණ සිදුකරන්න අධික පිරිවැයක් දරන්න වෙනවා. සත්කාරකත්වය දැරීම සංචාරයකට එක්වීමට වඩා පිරිවැය අධිකයි. අපි මූල්‍යමය වශයෙන් යහපත් තත්වයක නෑ. අපි බලාපොරොත්තු වෙනවා රටෙන් එලියට ගිහින් ක්‍රීඩා කරන්න.” යනුවෙන් කාරියප්පෙරුම මහතා ප්‍රකාශ කොට ඇත.
ඕස්ට්‍රේලියාවේ පැවති පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්වූ සංචිතය මෙම පුහුණුවීම් කටයුතු සදහා එක් වී ඇත. නව සංචිතයක් තෝරාගැනීම සදහා කණ්ඩායම් හතරක් සහභාගි වන පළාත් තරගාවලියක් එළඹෙන මාර්තු මාසයේදී දඹුල්ලේදී පැවැත්වීමට නියමිතය.
ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගෙන් හා නැගී එන කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතය පුහුණුවීම් සදහා එක්වී ඇත.[/vc_column_text][/vc_column][/vc_row]