විශ්මිගේ අර්ධ ශතකයත් කවිෂාගේ අගනා පන්දු යැවීමත් ශ්‍රී ලංකාවට ජය ගෙන එයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද දිනයේදී සමත් වුණා. ඒ දෙරට අතර පැවති දෙවන එක්දින තරගය කඩුලු 5කින් ජයග්‍රහණය කරමින්.

සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ කොදෙව් නායිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. නමුත් ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණිය හමුවේ කොදෙව් ක්‍රීඩිකාවන්ට පිත්තෙන් දස්කම් පාන්නට අවස්ථාව හිමි නොවීය.

කොදෙව් ඉනීමේ සියලු ක්‍රීඩිකාවන් පන්දුවාර 31ක් අවසානයේ දී ලකුණු 92කදී දවාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා. කොදෙව් ඉනීමේ වැඩිම ලකුණු ලාභිනිය වූ රෂාධා විලියම්ස් ලකුණු 24ක් රැස්කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ට දස්කම් පෑ කවීෂා දිල්හාරි පන්දුවාර 6කදී ලකුණු 20කට කඩුලු 4ක් බිදහෙලන්නට සමත් වුණා. චමරි අතපත්තු සහ අචිනි කුලසූරිය අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 21 පන්දු 2ක් අවසානයේ කඩුලු 5ක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. එහිදී ආරම්භක පිතිකාරිණී විශ්මි ගුණරත්න පන්දු 50කදී හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 50ක් රැස්කිරීමට සමත් වුණා. ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ ජය තවත් තරගයක් ඉතිරිව තිබියදී ම ශ්‍රී ලංකාවට හිමි වුණා.

Back To Top