ශ්‍රී ලංකා යෞවනයෝ පහසු ජයකින් තරගාවලිය අරඹති.

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින තරගාවලියේ තවත් තරඟ දෙකක් අද දිනයේදී පැවැත්විණි. එම තරග වලින් ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස අවුරුදු 19න් කණ්ඩායම් සමත් වූහ.

තරගාවලියේ තෙවන තරගය වෙනුවෙන් තරග බිමට අවතීර්ණ වූයේ බංගලාදේශ කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමයි. තරගයේ කාසිය වාසිය දිනූ එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයන් පළමුව පන්දු රැකීමට තීරණය කළහ. ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම පන්දුවාර 49 පන්දු තුනක් අවසානයේදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 228ක් රැස්කළහ. එහිදී ආරම්භක පිතිකරු රහ්මාන් ශිබ්ලි පන්දු 102කදී හතරේ පහර 3ක් හා හයේ පහරක් සමගින් ලකුණු 71ක්ද, ජීෂාන් අලාම් ලකුණු 42ක් ද රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී Dhruv Parashar පන්දුවාර 9 පන්දු 3කදී ලකුණු 44ට කඩුලු 6ක් දවාගැනීමට සමත් විය.

ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන එක්සත් අරාබි එමීර් කණ්ඩායමට පන්දුවාර 47 පන්දු 4ක් අවසානයේ සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 167ක් පමණි. ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 61ක ජයක් හිමිකරගැනීමට බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම සමත් විය. බංග්ලාදේශය වෙනුවෙන් රහ්මන් රබී හා පර්වේස් ජිබොන් කඩුලු 4 බැගින් දවාගැනීමට සමත් විය.

තරගාවලියේ සිව්වන තරඟය වෙනුවෙන් තරඟබිමට අවතීර්ණ වූයේ ජපානය සහ ශ්‍රී ලංකා කණ්ඩායමයි. තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ නායක සිනෙත් ජයවර්ධන පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන ජපාන කණ්ඩායමට සියලු ක්‍රීඩකයින් දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 75ක් පමණි. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා වූ චාල්ස් හින්ස් ලකුණු 36ක් රැස්කිරීමට සමත් විය.ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ මල්ෂ තරුපති ලකුණු 26ට කඩුලු තුනක්ද ගරුක සංකේත් ලකුණු 18කට කඩුලු දෙකක්ද බිඳ හෙළීය.

පහසු ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා වයස අවුරුදු දහනමෙන් පහළ කණ්ඩායම පන්දුවාර දොළහයි පන්දු දෙකක් අවසානයේදී කඩුලු තුනක් පමණක් දැවි නියමිත ඉලක්කය සපුරාලීමට සමත් විය. එහිදී නායක සිනෙත් ජයවර්ධන පන්දු 24කදී හතරේ පහර 3ක් හා හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 26ක් රැස්කිරීමට සමත් විය. මෙම ජයග්‍රහණයත් සමගින් B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකිවිය.

Back To Top