[vc_row][vc_column][vc_column_text]2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරඟය ලෙසින් ඕස්ට්‍රේලියාව සමග තරඟ වැදීමට නියමිත වේ. මෙම තරඟයට පෙර ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව හමුවෙමින් තුන් වතාවක් විස්සයි විස්ස ලෝක කුසලාන වලදී තරඟ වැදී අතර එම තරඟ වලදී දෙවතාවක් ඕස්ට්‍රේලියාවද එක් වතාවක් ශ්‍රී ලංකාවද ජයග්‍රහණය හිමිකරගෙන ඇත. මෙම ලිපියෙන් එම ඉතිහාසය පිළිබඳව සටහන් කෙරේ,
2007 ලෝක කුසලානයයේ සුපිරි අට වටයේ තුන්වන තරඟය ඕස්ට්‍රේලියාව සමග
ශ්‍රී ලංකාවට තරඟාවලියේ රැඳී සිටීමට නම් මෙම තරඟය ජයග්‍රහණය කිරීම අනිවාර්ය විය. මෙම තරඟය ජයග්‍රහණය කිරීම තුළින් අවසන් පූර්ව වටයට ගමන් කිරීමට හැකි වූ අතර පරාජය වුවහොත් තරඟාවලියෙන් ඉවත් වීමට සිදු වීමට නියමිත විය. තරඟයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට බලාපොරොත්තු වූ ආරම්භය ලබා ගැනීමට නොහැකි විය. Powerplay අවස්ථාව තුළදීම ශ්‍රී ලංකාවේ කඩුලු 4ක් බිඳ වැටුනේ අනපේක්ෂිත පරිදිය. කඩා වැටෙන ඉනිම ගොඩගැනීම උදෙසා සටන් කරමින් සිටි කුමාර් සංගක්කාර 10 වන පන්දුවාරයේදී දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 6 කට ලකුණු 43ක් ලෙසින් සටහන් විය.
අනතුරුව පිටියට පිවිසි ෆර්වීස් මහරූෆ් තමන් මුහුණ දුන් දෙවන පන්දුවේදීම දැවී ගියේ ශ්‍රී ලංකාව ලකුණු 43 ට කඩුලු 7ක් ලෙසින් අසරණ තත්වයට පත් කරමිනි. නමුත් මේ මොහොතේදී ඉනිමට අස්වැසිල්ලක් වූ චමින්ද වාස් සහ ජෙහාන් මුබාරක් විසින් 8 වන කඩුල්ලට ලකුණු 40ක් එක් කළේය. ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 19.3 ක් තුළ ලකුණු 101 කට සීමා විය. පන්දු යැවීමේදී ස්ටුවර්ට් ක්ලාක් විසින් කඩුලු 4ක් බිඳ හෙලුවේය.
ලකුණු 102 ක පහසු ඉලක්කයක් හඹා යෑමට පැමිණි ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරුවන් දෙපළ වූ මැතිව් හේඩ්න් සහ ඇඩම් ගිල්ක්‍රිස්ට් විසින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කරන ලදී. ඒ අනුව පන්දුවාර 10.2 ක් අවසානයේදී කිසිවෙකු නොදැවී ඕස්ට්‍රේලියාව ජයග්‍රාහී ඉලක්කයට ළඟා වූයේ ශ්‍රී ලංකාවේ විස්සයි විස්ස පිටියේ මුහුණ දුන් දැවැන්තම පරාජයක් හිමිකර දෙමිනි. ඒත් සමගම ශ්‍රී ලංකා විස්සයි විස්ස ලෝක කුසලාන බලාපොරොත්තු අවසන් වූ අතරම ශ්‍රී ලංකාව සිටි කාණ්ඩයෙන් ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අවසන් පූර්ව වට වලට සුදුසුකම් ලැබුවහ.
තරඟ සාරාංශය
ශ්‍රී ලංකාව 101-10 (19.3)
ජෙහාන් මුබාරක් 28(26), කුමාර් සංගක්කාර 22(23), චමින්ද වාස් 21(28)
ස්ටුවර්ට් ක්ලාක් 20/4, නේතන් බ්‍රැකන් 14/2, බ්‍රෙට් ලී 27/2
ඕස්ට්‍රේලියාව 102-0 (10.2)
මැතිව් හේඩ්න් 58(38)*, ඇඩම් ගිල්ක්‍රිස්ට් 31(25)*
තරඟයේ වීරයා – ස්ටුවර්ට් ක්ලාක්
2009 ලෝක කුසලානයේ පළමු තරඟය ඕස්ට්‍රේලියාව සමග
කොදෙව්වන් හමුවේ තම පළමු තරඟයම පරාජයට පත් වූ ඕස්ට්‍රේලියාව හට තරඟාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් මෙම තරඟය ජයග්‍රහණය කළ යුතුම විය. මේ නිසාවෙන් ඔවුන් තරඟය ජයග්‍රහණය කිරීමේ අරමුණින් ම තරඟයට එක් විය. මුලින්ම පන්දුවට පහර දුන්නේද ඕස්ට්‍රේලියාවයි. ආරම්භක කඩුල්ල ලෙසින් ඩේවිඩ් වෝනර් එක් ලකුණකට දැවී ගිය අතර අජන්ත මෙන්ඩිස් හමුවේ ඕස්ට්‍රේලියා පිතිකරුවන් අසරණ වන ආකාරය දක්නට ලැබුණි. රිකී පොන්ටින්, ශේන් වොට්සන් සහ මයිකල් හසී යන ක්‍රීඩකයන් මෙන්ඩිස් හමුවේ දැවී යද්දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ මිචෙල් ජොන්සන් සහ ඩේවිඩ් හසී ලකුණු 28 බැගින් රැස් කළහ. ලසිත් මාලිංග සහ අජන්ත මෙන්ඩිස් කඩුලු 3 බැගින් දවාගත් අතර ඕස්ට්‍රේලියාව පන්දුවාර 20 තුළදී කඩුලු 9 කට ලකුණු 159ක් රැස් කළේය.
ලකුණු 160 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් නොලැබුණත් සනත් ජයසූරිය ගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ශාන් දෙවන කඩුල්ලට ලකුණු 62ක් එක් කිරීමට සමත් විය. අනතුරුව එක් අන්තයක රැඳුනු කුමාර් සංගක්කාර විසින් කඩුලු බිඳ වැටීම් හමුවේ ජයග්‍රාහී ඉනිමක් ක්‍රීඩා කළේය. සංගා පන්දු 42 කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ද සමගින් නොදැවී ලකුණු 55ක් රැස් කළේ 19 වන පන්දුවාරය අවසන් වද්දී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අත්කර දෙමිනි. මෙම තරඟය පරාජයෙන් අනතුරුව ඕස්ට්‍රේලියාවට මූලික වටයෙන්ම 2009 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත් වීමට සිදු විය.
තරඟ සාරාංශය
ඕස්ට්‍රේලියාව 159-9 (20)
මිචෙල් ජොන්සන් 28(13)*, ඩේවිඩ් හසී 28(22), රිකී පොන්ටින් 25(15)
අජන්ත මෙන්ඩිස් 20/3, ලසිත් මාලිංග 36/3, ඉසුරු උදාන 47/2
ශ්‍රී ලංකාව 160-4 (19)
කුමාර් සංගක්කාර 55(42)*, තිලකරත්න ඩිල්ශාන් 53(32), ජෙහාන් මුබාරක් 21(12)*
බ්‍රෙට් ලී 39/2, මයිකල් ක්ලාක් 19/1
තරඟයේ වීරයා – කුමාර් සංගක්කාර
2010 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ දෙවන තරඟය ඕස්ට්‍රේලියාව සමග
නැවත වතාවක් මෙවරද ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාව හමු විය. එවර මුලින්ම පන්දුවට පහර දුන්නේ ඕස්ට්‍රේලියාවයි. ඇන්ජලෝ මැතිව්ස් සහ සුරාජ් රන්දිව් විසින් යොමු කළ පන්දු හමුවේ ඕස්ට්‍රේලියා මුල් පෙළ සම්පූර්ණයෙන්ම අසරණ වී ගිය අතර ඔවුන් පන්දුවාර 11ක් අවසන් වද්දී ලකුණු 67 කට කඩුලු 5ක් දැවී අතිශය අසීරු අඩියක පසු විය. නමුත් මේ මොහොතේදී අත්දැකීම් බහුල මයිකල් හසී සමගින් එක් වූයේ නවක ක්‍රීඩක කැමරන් වයිට් ය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට අමතක නොවන ප්‍රහාරයක් ඔහු දියත් කළේය. පන්දු 49ක් තුළ හතරේ පහර 6ක් සහ හයේ පහර 6ක් සමගින් වයිට් නොදැවී ලකුණු 85ක් රැස් කළේය. ඔහු සහ මයිකල් හසී හයවන කඩුල්ලට නොබිඳුනු ලකුණු 101ක් එක් කිරීමට සමත් වූයේ පන්දුවාර 20 තුළදී ලකුණු 168ක් දක්වා ඕස්ට්‍රේලියා ඉනිම ඉහල නංවමිනි.
ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියා වේග පන්දු යවන බලඇණිය හමුවේ ඉක්මනින්ම කඩුලු පූජා කරන්නට සිදු විය. මිචෙල් ජොන්සන් ඇතුළු ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ඉනිම විනාශ කර දැමුවේය. කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ තිලකරත්න ඩිල්ශාන් රැස් කළේ ලකුණු 20ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 16.2ක් තුළදී ලකුණු 87 කට සීමා වූයේ විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් එය සටහන් කරමිනි.
තරඟ සාරාංශය
ඕස්ට්‍රේලියාව 168-5 (20)
කැමරන් වයිට් 85(49)*, මයිකල් හසී 39(26)*
සුරාජ් රන්දිව් 20/3, ඇන්ජලෝ මැතිව්ස් 24/2
ශ්‍රී ලංකාව 87/10 (16.2)
තිලකරත්න ඩිල්ශාන් 20(12), දිනේශ් චන්දිමාල් 19(24)
මිචෙල් ජොන්සන් 19/3, ස්ටීවන් ස්මිත් 12/2, ඩර්ක් නැනස් 19/2
තරඟයේ වීරයා – කැමරන් වයිට්
විස්සයි විස්ස ලෝක කුසලාන තරඟ වලදී ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරඟ දත්ත පහත ලෙසින් සාරාංශගත කළ හැකිය,
තරඟ – 3
ශ්‍රී ලංකා ජයග්‍රහණ – 1
ඕස්ට්‍රේලියා ජයග්‍රහණ – 2
ශ්‍රී ලංකා ජයග්‍රාහී ප්‍රතිශතය – 33.33%
ඕස්ට්‍රේලියා ජයග්‍රාහී ප්‍රතිශතය – 66.66%
ඉනිමක ලකුණු සාමාන්‍ය ශ්‍රී ලංකාව – 116
ඉනිමක ලකුණු සාමාන්‍ය ඕස්ට්‍රේලියාව – 143
පන්දුවාරයකට ලකුණු සාමාන්‍ය ශ්‍රී ලංකාව – 6.34
පන්දුවාරයකට ලකුණු සාමාන්‍ය ඕස්ට්‍රේලියාව – 8.52
කඩුල්ලකට ලකුණු සාමාන්‍ය ශ්‍රී ලංකාව – 14.50
කඩුල්ලකට ලකුණු සාමාන්‍ය ඕස්ට්‍රේලියාව – 30.64[/vc_column_text][/vc_column][/vc_row]