ශ්‍රී ලංකා පිළ අඛණ්ඩ ටෙස්ට් තරගාවලි දෙකක් පරාජය ලබයි

[vc_row][vc_column][vc_column_text]සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අද දිනයේදී නිමාවට පත්විය. ඒ අනුව තරගාවලියේ ජයග්‍රහණය තරග 2-0ක් ලෙසින් එංගලන්ත කණ්ඩායමට හිමි විය. එංගලන්ත කණ්ඩායම අඛණ්ඩව ශ්‍රී ලංකාව තුළදී ජයගත් හයවන ටෙස්ට් තරගය බවට මෙම තරගය පත්විය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව තරග දෙකක් පරාජයට පත් වූ පළමු අවස්ථාව මෙය විය.

සිව්වන දිනය ආරම්භයේදී යොමුකළ එකොලොස්වන පන්දුවේදී එංගලන්ත ඉනීමේ අවසන් කඩුල්ල දවාගැනීමට දිල්රුවන්  පෙරේරා සමත් විය. එංගලන්ත පළමු ඉනීම ලකුණු ලකුණු 344කට සීමා විය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලසිත් ඇඹුල්දෙණිය එංගලන්ත පිළේ කඩුලු 7ක් දවාගනිමින් ටෙස්ට් දිවියේ හොදම පන්දු යැවීම වාර්තා කරන්නට සමත් විය.

ලකුණු 37ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනීම ඇරඹූ ශ්‍රී ලංකා පිතිකරුවන් තරමක කලබලකාරී ස්වභාවයකින් ක්‍රීඩා කරනු දක්නට ලැබිනි. ඉන් උපරිම වාසිය නෙලාගන්නට එංගලන්ත පන්දු යවන්නන් ක්‍රියාත්මක වූයේ දිවා විවේකයට තරගය නතර කරන විටදී ශ්‍රී ලංකා දෙවන ඉනීමේ කඩුලු 6ක් ලකුණු 67ක් තුළ දවාගනිමිනි. මුල් පෙල පිතිකරුවන් හය දෙනා අතුරින් කිසිදු පිතිකරුවෙකු ලකුණු 15 සීමාව පසුකරන්නට අසමත් විය.

දිවා විවේකයෙන් අනතුරුව යොමුකළ නවවන පන්දුවේදී දිල්රුවන් පෙරේරාද දැවීගියේ ශ්‍රී ලංකා පිළේ හත්වන කඩුල්ල ලෙසිනි. රමේෂ් මෙන්ඩිස්ටද රැස්කිරීමට හැකිවූයේ ලකුණු 16ක් පමණි. ශ්‍රී ලංකා පිළෙහි මුල්පෙළ කඩුලු 8ම දවාගන්නට ජැක් ලීච් හා ඩොම් බෙස්ට හැකිවිය. ශ්‍රී ලංකා දෙවන ඉනීම අවමන් සගහත තත්වයෙන් ගලවා ලන්නට හුදකලා ඉනීමක් දියත් කළ ලසිත් ඇඹුල්දෙණිය පන්දු 42ක් තුළ හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමගින් වටිනා ලකුණු 40ක් රැස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකා ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඇඹුල්දෙණියගේ කඩුල්ල දවාගැනීමට එංගලන්ත නායක ජෝ රූට් සමත් විය. මීළග පන්දුවේදී අසිත ප්‍රනාන්දු දවාගත් ජෝ රූට් ශ්‍රී ලංකා දෙවන ඉනීම ලකුණු 126කට සීමා කරන්නට සමත් විය.

ලකුණු 164ක ඉලක්කය හබායාමට පිටියට පිවිසි එංගලන්ත පිළේ ආරම්භක කඩුල්ල ලෙසින් ලකුණු 13ක් රැස්කළ සැක් ක්‍රොව්ලි දවාගැනීමට ඇඹුල්දෙණියට හැකි විය. අනතුරුව ජොනී බෙයාස්ටෝ හා ඩොම් සිබ්ලි එක්ව එංගලන්ත ලකුණු පුවරුව ඉහල නංවන්නට විය. නැවතත් ක්‍රියාත්මක වූ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 29ක් රැස්කළ ජොනී බෙයාස්ටෝ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගන්නට සමත් විය. පළමු ඉනීමේදී ශතකයක් රැස්කළ එංගලන්ත නායක ජෝ රූට් දවාගැනීමට මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළ රමේෂ් මෙන්ඩිස්ට හැකිවිය.

තරගය තුළ ලසිත් ඇඹුල්දෙණියගේ දසවන කඩුල්ල ලෙසින් ඩැනියෙල් ලෝරන්ස් දැවීයන්නෙ ශ්‍රී ලංකා පිළට ජයග්‍රහණය පිළිබදව යම් ඉගියක් පළකරමිනි. නමුත් තරගයේ පාලනය සියතට ගන්නට ඩොමිනික් සිබ්ලි හා ජෝස් බට්ලර්ට හැකිවිය. ඔවුන් දෙදෙනා එක්ව එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් වරක් පරාජයේ වේදනාවන් තිළිණ කරමිනි. ඩොමිනික් සිබ්ලි නොදැවුනු ලකුණු 56කින් ජයග්‍රාහී ගමනට අවශ්‍ය අඩිතාලම සකසද්දී ජෝස් බට්ලර් නොදැවී ලකුණු 46ක් රැස්කිරීමට සමත් විය. එංගලන්ත දෙවන ඉනීම තුළදී විනිසුරු තීරණය සම්බන්ධයෙන් යම් කණගාටුදායක සිදුවීම් කීපයකට මුහුණ දීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

තරගයේ හා තරගාවලියේ වීරයා බවට එංගලන්ත නායක ජෝ රූට් සම්මානයට පාත්‍ර වද්දී ලෝක ශූරතා ටෙස්ට් ලකුණු පුවරුවට තවත් ලකුණු 120ක් එක් කරගැනීමට එංගලන්ත පිළට හැකිවිය.

ශ්‍රී ලංකා පළමු ඉනීම : 381-10 (139.3)
ඇන්ජිලෝ මැතිවුස් 110(238), නිරෝෂන් දික්වැල්ල 92(144), දිල්රුවන් පෙරේරා 67(170), දිනේෂ් චන්දිමාල් 52(121), ලහිරු තිරිමාන්න 43(95)
ජිමී ඇන්ඩසන් 6/40, මාක් වුඩ් 3/84, සෑම් කරන් 1/60

එංගලන්ත පළමු ඉනීම : 344-10 (116.1)
ජෝ රූට් 186(309), ජෝස් බට්ලර් 55(95), ඩොම් බෙස් 32(95)
ලසිත් ඇඹුල්දෙණිය 7/132 , රමේෂ් මෙන්ඩිස් 1/48

ශ්‍රී ලංකා දෙවන ඉනීම – 126-10 (35.5)
ලසිත් ඇඹුල්දෙණිය 40(42), රමේෂ් මෙන්ඩිස් 16(20)
ඩොම් බෙස් 4/49 , ජැක් ලීච් 4/59 , ජෝ රූට් 2/0

එංගලන්ත දෙවන ඉනීම – 164-4 (43.3)
ඩොමිනික් සිබ්ලි* 56(144), ජෝස් බට්ලර්* 46(48), ජොනී බෙයාස්ටෝ 29(28)
ලසිත් ඇඹුල්දෙණිය 3/73 , රමේෂ් මෙන්ඩිස් 1/48

– Creeda Sports Network –[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top