ලෝක කුසලාන ඉතිහාසය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් අසාර්ථකම ලෝක කුසලාන තරගාවලියක් බවට මෙවර තරගාවලිය පත්වද්දී පාර්ශව ගණනාවකින් තේරීම් කමිටුව දෙසට විවේචන එල්ල විය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටට පැමිණෙන මොහොතේ දී තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සදහන් කොට සිටියේ තරගාවලිය පරාජය පසුපස කුමන්ත්‍රණයක් ඇති බවත් ඒ පිළිබඳව සියලු තොරතුරු දින කිහිපයක් තුළදී හෙළිකරනා බවත් ය.
ඒ අනුව අද දිනයේදී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ලිපියක් නිකුත් කරමින් තොරතුරු කිහිපයක් අනාවරණය කොට ඇත. 1996 ලෝක කුසලානය දිනා දුන් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස වත්මන් තත්වය පිළිබඳව ඉමහත් කම්පාවට පත්වන බව ඔහු ප්‍රථමයෙන් ලිපියේ අවධාරණය කොට ඇත. ශ්‍රී ලංකාවට මේ වනවිට පනවා තිබෙන තරග තහනමට හේතුව පුද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීමට සිදුකළ කුමන්ත්‍රණ බව ඔහු සදහන් කොට ඇත.එමෙන්ම කණ්ඩායම තේරීම සදහා සමාජ මාධ්‍ය තුලින් එල්ල වූ බලපෑම් පිළිබඳව ද ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මෙහිදී සටහනක් තබා ඇත.