සුපිරි වේග පන්දු යවන්නෙකු සංගා ගැන කියන කතාව

[vc_row][vc_column][vc_column_text]ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැයට කිලෝමීටර් 145 ඉක්මවූ වේගයකින් පන්දු යවන්නන් ගැන සඳහන් කරද්දී නම් කිහිපයක් මතකයට නැගෙයි. ඒ අතරින් පැයට කිලෝමීටර් 145ට වැඩි වේගයට දෝලනයද කැටිකර පන්දු යවන්නන් ගැන කිව්වොත්? එවිට මතකයට නැගෙන කිහිප දෙනාගෙන් මොහු කෙනෙක් වෙනවා නොඅනුමානය.

වේගයට දෝලනය එකතු කරමින් එක්දින සහ ටෙස්ට් පිටියේ කලක පටන් ලොව අංක එකේ පන්දු යවන්නා වශයෙන් වැජඹුණේද මොහුය. ඔහු ශ්‍රී ලංකාව හා බද්ධ වූ අමතක නොවන මතක ගොන්නක් ඇත්තෙකි. දැන් ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සිටියද, ක්‍රිකට් විස්තර විචාරකයකු වශයෙන් නැවතත් ක්‍රිකට් පිටියට පය තබමින් අලුත් ක්‍රිකට් ගමනක් අරඹා ඇත්තේය. මේ වෙනකෙකු නොව කලක ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වේග පන්දුවේ භීතිකාවක් වූ දකුණු අප්‍රිකාවේ ඩේල් ස්ටේන්ය.

මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරකයෙකු වශයෙන් කටයුතු කරන අතරවාරයේදී ඔහු, එම තරගාවලිය වාර්තා කිරීමට ගොස් සිටින ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් සමගින් සම්මුඛ සාකච්ඡාවකට එක්වූයේ මෙලෙසිනි.

ශ්‍රී ලංකාව පිළිබඳ ඔබේ මතකය අවදි කළොත්?

ශ්‍රී ලංකාව ගැන මගේ හොඳම ක්‍රිකට් මතකය දිව යන්නේ 2004 වසරට. ඒ වසරේ මම දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායම සමගින් ශ්‍රී ලංකා සංචාරයක නිරත වුණා. ඒක තමයි දකුණු අප්‍රිකාවෙන් පිටතට මම ගිය පළමු ක්‍රිකට් සංචාරය.

ඒ සංචාරයේදී කොළඹ වෙළෙඳ සංකීර්ණයට යන්න අවස්ථාවක් ලැබුණා. එහිදී මම පළමු වතාවට ඩීවීඩී තැටි මිලට ගත්තා. ඒ ගමනේදී විවිධ වර්ගයේ ආහාර පාන වල රස බලන්න මට පුළුවන් වුණා. අපි ඩිල්මා තේ වත්තට ගියා. සංචාරය අතරතුර අපි ගමන් ගත්ත බස් රථය අනතුරකට ලක් වීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදු වුණා. මම අදටත් විශ්වාස කරනවා ඔවුන් හොඳින් ඉන්නවා ඇති කියලා. අපි නුවර ගියාම මම දැක්කා කණ්ඩායම් නවාතැන්ගෙන සිටි හෝටලයේ අලි ඇතුන් සැරිසරනවා. එය මම මෙතෙක් ගිය සංචාර වලින් විශිෂ්ට ගණයේ එකක්. ඇත්තටම මම එයට ආදරය කළා.

ශ්‍රී ලංකා සංචාරයකට පැමිණි සෑම අවස්ථාවකදීම මට එය තව තවත් විඳීමට අවශ්‍ය වුණා. මම ගාල්ලට යන්න ලැබුණු මුල්ම දවසනම් නියමයි. මට මතකයි මම ගාල්ලේ කොටු බැම්ම උඩට ගියා, මුහුදු වෙරළට ගියා. ක්‍රිකට් තරග දිනුවත් පැරදුණත් මම ගිය ලස්සනම තැන්වලින් එකක් තමයි ශ්‍රී ලංකාව කියන්නේ. ඒ වගේම බටහිර ඉන්දීය කොදෙව් කියන්නෙත් මම කැමතිම ස්ථාන වලින් එකක්.

ශ්‍රී ලංකාවේ පැවැති ඔබගේ පළමු ටෙස්ට් සංචාරය එතරම් මිහිරි එකක් වුණේ නැහැ. මහේල ජයවර්ධන ලකුණු 374කුත්, කුමාර සංගක්කාර ලකුණු 287කුත් රැස් කරමින් තෙවැනි කඩුල්ලට වාර්තාගත ලකුණු 624ක සබඳතාවක් පැවැත්වූයේ ඔබ ශ්‍රී ලංකා සංචාරයේ සහභාගි වූ ඒ පළමු ටෙස්ට් තරගයේ?

ඒ තරගයේදී මම සංගාව නිපන්දුවකින් දවා ගත්තා (7 වැනි පන්දුවාරයේ 4 වැනි පන්දුවේදී). ඊට පන්දු දෙකකට පෙර (7 වැනි පන්දුවාරයේ 2 වැනි පන්දුවේ) සංගා ලබාදුන් උඩ පන්දුව ජැක්ස් රුඩොල්ෆ් විසින් අත්හරිනු ලැබුවා. ඒ වාසිය අරන් සංගා ලකුණු 300 ආසන්නයට ආවා. මහේල දවස් දෙකක් පන්දුවට පහරදීලා ලකුණු 400 ආසන්නයට පැමිණියා. පැවැති තත්ත්වයත් එක්ක මට තරගය දිනවීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ කාලයේ තරුණ වේග පන්දු යවන්නෙක් විදිහට මට ඕනේ වුණේ දුවලා ගිහින් පුළුවන් තරම් වේගයෙන් පන්දු යවන්න. ඒක හරියට දැන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් පන්දු යවන ආකාරය වගේ. ඒ පිළිබඳව ආපසු හැරී බලන විට එය මගේ ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවූ හොඳම සිදුවීම් වලින් එකක් බව මට දැන් සිතෙනවා. ඒක මගේ ක්‍රිකට් දිවියේ විශිෂ්ට කතාවක්, විශිෂ්ට අත්දැකීමක් සහ හොඳ ඉගෙනීමක් වුණා.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාර සහ ඔබ අතර වසර ගණනාවක් තිස්සේ පවතින හිතවත්කම ගැන කිව්වොත්?

මම සංගාව වසර ගණනාවක් තිස්සේ හඳුනනවා. මට ඔහුව මුලින්ම මුණගැසෙන්නේ එංගලන්තයේ දේශීය ක්‍රිකට් තරගාවලියේ වාවික්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන්න පැමිණි අවස්ථාවේදී. ඊට පස්සේ අපි ඩෙකෑන් චාජර්ස්, සන්රයිසස් හයිද්‍රාබාද් වගේම කැරිබියන් ප්‍රිමියර් ලීගයේ ජැමෙයිකා කණ්ඩායමත් නියෝජනය කළා. එකම කණ්ඩායමේ ක්‍රීඩා කළා වගේම ඔහුගේ ප්‍රතිවාදී කණ්ඩායමේත් මම අවස්ථා ගණනාවකදී ක්‍රීඩා කරලා තියෙනවා. සංගාට අකමැති කවුද? සංගාට අකමැති වෙන්න හේතුව කුමක්ද? මම ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවේදී ආදරය කළා. ඔහු ක්‍රිකට් ලෝකයේ ඉන්න හොඳම පුද්ගලයා. ඔහු විශිෂ්ට ක්‍රීඩකයෙක්. මම ප්‍රතිවාදී කණ්ඩායමෙ ක්‍රීඩාකරන විට වුණත්, සංගා අපට එරෙහිව ලකුණු සිය ගණනක් රැස්කරන විට පවා එය නැරඹීම සතුටක් වුණා.

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වේග පන්දු යවන්නන් පිළිබඳව යමක් කිව්වොත්?

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ වේගයට මම කැමතියි. මම ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කරන සමයේදීත් හොඳ වේග පන්දු යවන්නන් කිහිප දෙනෙක් හිටියා. මාව වැරදියට වටහා ගන්න එපා. නමුත් ශ්‍රී ලංකාව වේග පන්දු යවන්නන්ට එතරම් නම් දරාපු රටක් නෙමෙයි. මාලිංග පුදුමාකාර හැකියාවක් ඇති ක්‍රීඩකයෙක්. නමුත් ඔහු ලෝකයේ බිහි වූ වේගවත්ම පන්දු යවන්නෙක් නොවෙයි. දැන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පැයට කිලෝමීටර් 145ක වේගයෙන් පන්දු යවනවා. එය ඉතාමත් හොඳයි. නමුත් ඔවුන්ට තරගවලදි වැරදුණේ ඔවුන් පන්දුව පතිත කළ ස්ථානයේ පැවැති ගැටලුව නිසා.

ගියවර පැවැති ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ඔබත් සාමාජිකයෙක්?

එල්.පී.එල්. තරගාවලියට ක්‍රීඩාකළ පිතිකරුවන් ගැන මම ගොඩක් පැහැදුණා. ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් දක්ෂතා පුදුම සහගත මට්ටමේ පැවතියා. මගේ කණ්ඩායමේ සිටි කිසිදු ක්‍රිඩකයෙකු ඔළුව උදුමවාගෙන සිටියේ නැහැ. අනෙක් තරගාවලිවල ඉන්න ක්‍රීඩකයන් ඔළුව උදුමවාගෙන ඉන්න බව මම ඒකෙන් අදහස් කරන්නේ නැහැ.

නමුත් ලංකාවේ ක්‍රීඩකයන් ඒ තරම් නිහතමානීව කටයුතු කළා. මම නැවතත් ලංකා ප්‍රිමියර් ලීගය ක්‍රීඩා කිරීමට කැමැතියි. නමුත් කනගාටුයි මම දැන් විශ්‍රාම අරන් ඉන්නේ.

ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට ජාත්‍යන්තරය ජයගත හැක්කේ කෙසේද?

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සහ තවත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි මගින් ශ්‍රී ලංකා පන්දු යවනන්නන්ට අත්දැකීම් ලැබීම තුළින් ජාත්‍යන්තරයේ වඩාත් සාර්ථක වීමේ අවස්ථාව පවතිනවා. ළහිරු කුමාර යන ගමන ගැන මම කැමතියි. ළහිරු දකුණු අප්‍රිකාව තුළදී හොඳ පන්දු යවන්නෙකු වෙනවා කියලා කියන්න පුළුවන්.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය කවුරුන් දිනයිද?

මේ වන විට පාකිස්තානය සහ එංගලන්තය ඉතාමත් සාර්ථකව ඉදිරියට යමින් ඉන්නවා. දකුණු අප්‍රිකාව තවමත් ඔවුන්ගේ සුපුරුදු ක්‍රිකට් රිද්මයට පැමිණිලා නැහැ කියලයි මට හිතෙන්නේ. නමුත් ඔවුන් ටිකෙන් ටික හොඳ අතට පැමිණෙන බවක් පේන්න තියෙනවා. යම් කණ්ඩායමක් විසින් මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයේදී අත්වැරදීමක් කළහොත් එය එම කණ්ඩායමට ඉතා නරක දෙයක් ගෙනදෙනු ඇත. මගේ මතය අනුව ලෝක කුසලානය දිනන්නේ හොඳම කණ්ඩායම නොවෙයි. ලෝක කුසලානය දිනන්නේ නියම වෙලාවට ඉදිරියට එන කණ්ඩායම.

‘කලු ජීවිතත් වැදගත්’ හෙවත් වර්ගවාදයට එරෙහි වෙමින් ක්වින්ටන් ඩි කොක් තරග ආරම්භයට පෙර දණහිස නැමීමට අකමැති වුණා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස?

දණහිස නැමීම මගින් පෙන්නුම් කරන්නේ මිනිසුන් වෙන්කර හැඳින්වීමක් නොවෙයි. එමගින් ඉදිරියේදී සෑම මිනිසෙක්ම එකට ගෙන ඒමට නියමිතයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top